fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බැදුම්කර නඩුවේ චෝදනා 22 න් 11 කින් රවී නිදහස්

    බැදුම්කර නඩුවේ චෝදනා 22 න් 11 කින් රවී නිදහස්

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 වසරේ මාර්තු මස 31 වනදා නිකුත් කළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි ගොනු කළ චෝදනා 22 න් 11 කින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස්  ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නිදහස් කළේය.

    ඒ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එම චෝදනා 11 විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව එම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් මීට පෙර අධිකරණය හමුවේ කළ ඉල්ලීම් සම්බන්ධයෙන් වූ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමිනි.

    අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැදවනු ලැබීය

    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනාවලින් චෝදනා 11 ක් පවත්වාගෙන යාමට නොහැකි බවය.

    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා ද? ඉවත් කරගන්නවා ද? එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

    නඩුව ජනවාරි මස 26 වනදා කැඳවීමට ඒ අනුව අධිකරණය නියම කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.