fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද වියදම් අඩුකරන නීති හැදේ

    ඡන්ද වියදම් අඩුකරන නීති හැදේ

    මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සලසාලන නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා යෝජිත සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය ‍විසින් අනුමත කර ඇත.

    ශ්‍රී ලාංකික පුරවැසියන් සතු පරමාධිපත්‍ය බලයේ මුලිකාංගය සර්වජන ඡන්ද බලයයි.

    එය ඡන්ද විමසීමකදී ජනතා කැමැත්ත ‍වශයෙන් නිදහස් හා සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතුය.

    ඡන්ද විමසීමකදී කිසියම් අපේක්ෂකයකු, පක්ෂයක් හෝ කණ්ඩායමක් ජනතාවගේ ඡන්දය වෙනුවෙන් කිසිදු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමඟින් ජනතාවගේ කැමැත්ත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිවිය හැක.

    ඡන්ද විමසීම්වලදී තරගවදින අපේක්ෂකයන් නැතහොත් පක්ෂ විසින් දරනු ලබන වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවට භාජනය වී ඇති අතර, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීතිරීති පනවා ඇත.

    ඡන්ද විමසීම්වලදී ඇති වන නීති විරෝධී ක්‍රියා අවම කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස පවතින අණපනත් සංශෝධනය කිරීමට අදාළව 2017 ඔක්තෝබර් මස 17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යූහය හා නීතිරීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගෙන සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇත.

    එම කරුණු ද සැලකිල්ලට ගනිමින් යෝජිත සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය ‍විසින් මෙලෙස අනුමත කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.