fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගැසට් රිවස් කළ පළිබෝධ රෙජිස්ට්‍රාර් කලිනුත් සමාගම්වල පදේට නැටූ බවට චෝදනා

    ගැසට් රිවස් කළ පළිබෝධ රෙජිස්ට්‍රාර් කලිනුත් සමාගම්වල පදේට නැටූ බවට චෝදනා

    ධුරයෙන් පහ කිරීමට නියෝග කර ඇති පළිබෝධ රෙජිස්ට්‍රාර්වරයා මීට පෙර ද රසායනික සමාගම්වල අවශ්‍යතාවට අනුව ඊට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම පිළිබඳ විනය පරීක්ෂණවලට ලක්වූවකු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කියාසිටියේ පළිබෝධනාශක 5ක් තහනම් කරමින් 2014 දී නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීම හේතුවෙන් මෙම නිලධාරියා ධුරයෙන් ඉවත් කිරීමට තමා නියෝග කළ බවට මැතිසබය වෙත කරුණු දක්වමිනි.

    එහිදී මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා මෙසේ ද කීය.

    “මේ පුද්ගලයා විසින් මීට කලිනුත් රසායනික සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වන්න කටයුතු කරල මොහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ රජය මේ තීන්දුව ගනිද්දී අමාත්‍යාංශය විදියට අපට තියෙන ලොකුම අභියෝගය තමයි මේ රසායනික පොහොර සමාගම්, රසායනික පොහොර ආනයනකරුවන් අපි අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක පහුගිය කාලය පුරාම කටයුතු කරලා තියෙනවා. ඒ නිසාම ඒක මීට කලිනුත් පළිබෝධනාශක ගෙන්වීමට කටයුතු කිරීමේ දී, කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ දී මේ පුද්ගලයා විසින් සමාගමකට පක්ෂව යෝජනාව එවලා තිබුණා කැබිනට් මණ්ඩලයට. දෙවනි වරටත් ඒ විදියටම එවල තිබුණා. ඒ නිසා ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා එම තනතුරෙන් ඉවත් කරන්න උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ග්ලයිෆොසෙට් තහනම ඉදිරියටත් ක්‍රියාත්මක වන බව සඳහන් කරන්න කැමතියි.” යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

    මේ අතර පළිබෝධනාශක ආනයනකරුවන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් ද අද (23) කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්විය.

    එළවළු සඳහා අවශ්‍ය දිලීර නාශක සහ පළිබෝධනාශක ආනයනය, දැනට ආනයනකරුවන් සතුව පවතින දිලීර නාශක සහ පළිබෝධනාශක සහනදායි මිල ගණන් යටතේ අලෙවි කිරීමට එහිදී උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.