fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් වෛද්‍ය සේවා අංශයේ ලොකු පුටුවට පළමු වරට වෛද්‍යවරයෙක්

    පොලිස් වෛද්‍ය සේවා අංශයේ ලොකු පුටුවට පළමු වරට වෛද්‍යවරයෙක්

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් වෛද්‍ය සේවා අංශයේ ප්‍රධානියා ලෙස වෛද්‍යවරයෙක් පත්කර තිබේ.

    උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෛද්‍ය ඩබ්ලිව්.සී. රණසිංහ මහතා එසේ වෛද්‍ය සේවා අංශයේ ප්‍රධානියා ලෙස පත්කර ඇත. වසර 20 ක පමණ කාලයක් ඔහු පොලිස් වෛද්‍ය අංශයේ සේවයේ නිතරව සිටින අතර ඉකුත් පෙබරවාරියේ සිට ඔහු ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස පොලිස් රෝහලේ කටයුතු කරනු ලැබීය.

    ශ්‍රී ලංකා පොලිස් වෛද්‍ය අංශයේ සේවයට බදවා ගනු ලබන්නේ රජයේ වෛද්‍යවරුන්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියෙන් වසර 05 කොන්ත්‍රාත් කාලයකට එම වෛද්‍යවරුන් බදවා ගනු ලබන අතර ඔවුන්ට සහකාර පොලිස් අධිකාරී තනතුර ඇතුළු පහසුකම් රැසක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙයි. සේවා අවශ්‍යතා මත වසර 05 න් 05 ට සේවා දීර්ඝ කිරීම් සිදුවන අතර මෙතෙක් පොලිස් වෛද්‍ය සේවා අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතවූයේ පොලිස් සේවයේ ස්ථිර නිලධාරියෙකි.

    ඉකුත් පෙබරවාරියේදී නව ප්‍රධානියා ලෙස පත්කල රණසිංහ මහතාගේ සේවය අවසන් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගත්තද පසුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම මත සේවය අවසන්කර දින 14 ක් වැනි කෙටි කාලයක් තුළ නැවත සේවයට පැමිණි බවත් පසුව ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙසද පත්වීම් ලැබුණු බවත් පොලිස් දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    ඒ වන විට පොලිස් වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් වන මදාරා ආරියසේන මහත්මියයි. වෛද්‍ය සේවා අංශයේ සිදුවූ අක්‍රමිකතා රැසක් හෙළිකර ගනිමින් ඇය ඒවාට නැවත ඉඩ නොතබමින් පොලිස් වෛද්‍ය අංශය ඉහළ තලයකට ගෙන ඒමට කැපවීමකින් ක්‍රියාකල බව පොලිස් තොරතුරු සදහන් කළේය. එහෙත් හිටි හැටියේම මෙයට මාස දෙකකට පමණ පෙර ඇය වෛද්‍ය සේවා අංශයේ ප්‍රධානී තනතුර වන අධ්‍යක්ෂධූරයෙන් ඉවත්කර පොලිස් විභාග අංශයට මාරුකරනු ලැබීය. අනතුරුව එහි අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ. සේරසිංහ මහතාව පත්කරනු ලැබීය.

    එම පත්වීමෙන් මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් පොලිස් වෛද්‍ය සේවා අංශයේ පරිපාලනය කොටස් දෙකකට වෙන්කර මෙතෙක් එහි අධ්‍යක්ෂධූරය දැරූ සේරසිංහ මහතා සිවිල් නිලධාරීන්ගේ පරිපාලන අධ්‍යක්ෂ ලෙසත් ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රණසිංහ මහතා වෛද්‍ය සේවා අංශයේ නිලධාරීන්ගේ පරිපාලන අධ්‍යක්ෂ ලෙසත් පත්කර තිබේ.

    මෙයට සති දෙකකට පරෙ පොලිස් රෝහල් වෛද්‍ය කමිටුවේ රැස්වීමක් අවසානයේදී පොලිස් රෝහලේ සේවයේ නිරතව සිටි විශේෂඥ වෛද්‍යවරුන් මෙම පත්කිරීමට විරෝධයක් පවා දක්වා ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය. ඊට මුල්වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ පරිපාලන අධ්‍යක්ෂ ලෙස පත්කල රණසිංහ මහතා විශේෂඥ වෛද්‍යවරයෙක් නොවන බැවින් විශේෂඥ වෛද්‍යවරුන් සිය පරිපාලනය ඔහු විසින් සිදු කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වීමය.

    එසේ තිබියදීත් මෙම පත්කිරීම මේ වන විට සිදුව ඇති අතර මෙතෙක් එම පත්කිරීමට විරෝධයක් එල්ලවී නැති බව පොලිස් රෝහල් තොරතුරු සදහන් කළේය. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට නව රෝහල් අධ්‍යකෂ වෛද්‍ය රණසිංහ මහතාව සම්බන්ධකර ගැනීමට උත්සහගත්තද එය ව්‍යර්ථ විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.