fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගා ගස්යායේ ඤාණිස්සර නාහිමි අපවත්වෙති

    ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගා ගස්යායේ ඤාණිස්සර නාහිමි අපවත්වෙති

    මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, ප්‍රවචන කීර්ති ශ්‍රී අග්ගාරාමාභිධාන, ත්‍රිපිටක ධර්ම විශාරද රෝහණ කීර්ති, රාජකීය පණ්ඩිත, ආචාර්ය මුරුංගස්යායේ ඤාණිස්සර නාහිමියෝ අද (05) දින අපවත් වී ඇත.

    අපවත්වනතුරුම සෑම වසරකම ශ්‍රී ලංකාවට වැඩම කළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ වෛද්‍ය විද්‍යාලවලට තේරිපත්වන දරුවන්ට ශිෂ්‍යත්ව දීම, අසරණයන්ට නිවාස ඉදිකරදිම, ඇස් කණ්ණාඩි දීම, ආදි දහසකුත් සමාජ සේවාවන්හි නිරත වූහ.

    කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකක පමණ කාලයේ දි ලංකාවට වැඩමකිරිමට නොහැකිව සිටි උන්වහන්සේ සමාජ මෙහෙවර රැසක් සැළසුම් කරගෙන පසුගියදා මෙරටට වැඩම කර සිටිය දී මෙසේ අපවත් වී ඇත.

    ලක්බිම හිටපු ප්‍රධාන උප කර්තෘ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා ” ගුරුපාරෙන් බෝමළුවට ” කෘතියෙහි නාහිමියන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පහතින් දැක්වෙයි.

    * ඔබ වහන්සේගේ උපන් දිනය –

    1945 අ⁣ගෝස්තු 10 වෙනිදා

    * මුරුංගාගස්යායේ කියන්නේ ඉස්සර බොහෝම දුෂ්කර ගමක් නේද?

    ඔව් .දැන්නම් ගම සාමාන්‍ය දියුණු මට්ටමක තිබුණත් අපි පුංච් කාලේ හරිම දුෂ්කරයි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ තමයි අපේ ගම පිහිටියේ.

    අපේ ගෙදර ඉලුක් සෙවිලි කළ කටුමැටි ගෙදරක්.වරක් ඉලුක් සෙවිලි කළ විට අවුරුදු පහක් ව්තර පයින් යනවා.නාන්න තියෙන තැනට උදේම නොගියොත් වතුර ඉවර වෙනවා.ඒ නිසා හුළු අතු බැඳගෙන පාන්දරම අපි නාන්න යන්නේ.මිද්දෙණියෙ ඉඳලා අපේ අම්මා වතුර ඔළුවේ තියාගෙන එනවා මට මතකයි.

    * පවුලේ විස්තර –

    තාත්තා එස්.ඒ.වීරක්කොඩි, අම්මා අමරකෝන් දිසානායක පුංචිහාමි, අපේ තාත්තා ගමේ හිටපු ප්‍රධානියෙක්.තාත්තා ඒ කාලේ ගමේ උදවිය අරගෙන රටේ විවිධ ප්‍රදේශවල වන්දනාවේ යනවා මතකයි.මට අයියලා දෙන්නෙකුයි අක්කයි නංගිලා දෙන්නයි.මම පවුලේ පස්වෙනියා.එක නංගි කෙනෙක් 2006 දි මියගියා.

    * ඉගෙනුම ලැබු පාසල-

    මිද්දෙණියෙ ප්‍රාථමික විදුහල

    * ඔබ වහන්සේට පැවිදි වෙන්න අදහසක් ආවේ කොහොමද?

    මම පුංචි කාලේ තාත්තා අපිට උළු සෙවිලි කරපු ගෙයක් හැදුවා.ඒ අලුත් ගෙදර පදිංචියට යන්න කලින් හාමුදුරුවෝ දෙනමක් වස් වසවා ගත්තා.මේ දෙනම බණ දේශනා කළා.බෝධි පුජා පැවැත්වුවා.

    මට එතකොට අවුරුදු 8 ක් විතර ඇති.මම තමයි බෝධි පුජාවට, බණට කලින් දවුල ගහන්නේ.කිසිම තාලයක් නැහැ දවුලට.හිතෙන තාලෙට දවුල ගහනවා.ඉතින් ගෙදර කරපු ඒ පින්කමත් මගේ හිතට බලපැවා.

    තව මම පුංචි කාලේ අම්මගේ චිත්තයක් සිවුර වගේ පොරවගෙන පිණ්ඩපාතයේ යනවා.මගේ යාළුවෝ් තමා පිණ්ඩපාතයේ බෙදන්නේ.අපි නිතරම යාළුවෝ එකතු වෙලා වැලිබත් පිසිනවා.හැබැයි මම කවදාවත් හාමුදුරුනමක් පිණ්ඩපාතයේ වඩිනවා දැකලා නැහැ.ඒත් ඒක සසර පුරුද්දට කරන්න ඇති.

    තව සිද්ධියක් මතක් වුණා.වස් කාලේට අපේ තාත්තා විවිධ පළාත්වලින් ප්‍රසිද්ධ ධර්ම කථිකයන් වහන්සේලා අපේ ගෙදරට වැඩම්මුවා.මිද්දෙණියෙ ඉඳලා පෙරහරකින් ඒ හාමුදුරුවරු වැඩම කළේ.දවසක් මුලනේ අග්ගාරාම ලොකු හාමුදුරුවෝ මේ බණට වැඩියා.ඒ හාමුදුරුවෝ තාත්තගේ මාමා කෙනෙක්.ඉතින් අග්ගාරාම හාමුදුරුවෝ තාත්තාගෙන් අහලා තිබුණා මාව මහණ කරන්න.මමත් එක පයින්ම කැමැති වුණා.

    * පැවිදි වුණේ..?

    විතාරන්දෙණියේ ඇත්ගාලමුල්ල අශ්වත්ථාරාමයට 1955 මැයි මාසයේ තමයි පන්සලට ආවේ.1955 ජුනි 25 වෙනිදා අග්ගාරාම මාහිමියන්ගේ ශිෂ්‍යයෙක් ලෙස පැවිදි වුණා.

    * ඉගෙනගත් පිරිවෙන..?

    අද වගේ පැවිදි කරපු දවසට පහුවදා ඉස්සර පිරිවෙනකට දාන්නේ නැහැ.ඒ කාලයේ අවුරුදු හතරක් විතර මම අපේ ලොකු හාමුදුරුවෝ ළඟ ශතක පොත් , පාලි වරනැගිල්ල ආදි මුලික පොතපත ඉගෙන ගත්තා. පාලි නිඝණ්ඩුවේ ගාථා අටසීය ගණනක් මට පුංචි කාලේම කට පාඩම්.පහු කාලීන මගේ අධ්‍යාපනයට විශාල ලෙස වැදගත් වුණා.ඊට පස්සේ තංගල්ලේ ධම්මදින්න පිරිවෙණට ඇතුළත් වුණා.ඒ පිරිවෙන කාලයක් වැහිලා තිබුණා.ඊට පස්සේ 1960 දි නැකතට අකුරු කියවලා මාව පිරිවෙනට ඇතුළත් කරගත්තා.දැන් එය දියුණු පිරිවෙනක්.

    * ඔබ වහන්සේ විද්‍යෝදය පිරිවෙනේ දීප්තිමත් ශිෂ්‍යයෙක්..?

    ඔව්.1962 දි තමයි විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වුණේ.මට අවුරුදු 17 යි.මම පන්තියේ දෙවැනියාගෙන් පහළට ගියේ නැහැ.පත්බේරියේ විමලඥාන හාමුදුරුවෝයි මමයි අතරේ තරඟය තිබුණේ.එක් වරක් උන් වහන්සේ පළමු වැනියා වෙනවා.අනිත් වතාවේ මම පළවැනියා වෙනවා.

    විද්‍යොදයට ඇතුළත්වි වර්ග පටිපාටියෙන් අවසාන වර්ෂයේ දක්ෂම ශිෂ්‍යයාට ශ්‍යාමරාජ ත්‍යාගය ලැබෙනවා.මෙය ශිෂ්‍යයාට ලැබෙන ඉහළම ගෞරවයක්.වසරකට එක් ශිෂ්‍යයෙකුට පමණයි මේ ත්‍යාගය ලැබෙන්නේ.මෙතනදි මමයි පත්බේරියේ විමලඥාන හාමුදුරුවෝයි ගැටලුවකට මුහුණ දුන්නා.අපි දෙන්නාටම ශ්‍යාමරාජ ත්‍යාගය ගන්න උවමනා වුණා.ඒ නිසා මම 1968 දි විභාගය ගත්තා.උන් වහන්සේ 1969 දි විභාගය ගත්තා.ඒ නිසා අපි දෙන්නටම ශ්‍යාමරාජ ත්‍යාගය ලැබුණා.

    * ඔබ වහන්සේ අධ්‍යාපනය ලබන කාලේ පිරිවෙනේ වැඩසිටිය පඬිවරුන් කවුද ?

    පරිවේනාධිපති වුණේ කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනායක හාමුදුරුවෝ.වේඬරුවේ අනෝමදස්සි නාහිමි, රද්දැල්ලේ පඤ්ඤාලෝක අනුනාහිමි, පල්ලාවෙල සද්ධාතිස්ස නාහිමි, අඹන්වැල්ලේ පඤ්ඤාසේකර අනුනාහිමි, හෑගොඩ ඛේමානන්ද නාහිමි, දොරටියාවේ නන්දසාර නාහිමි, වැනි ශ්‍රෙෂ්ඨ පඬිවරුන්ගෙන් මම අධ්‍යාපනය ලැබුවා.

    * විශ්ව විද්‍යාල අධ්‍යාපනය –

    මම ඉගෙනගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.දර්ශනය, බෞද්ධ දර්ශනය , සිංහල විෂයයන් හැදෑරුවා.ඒ කාලේ විෂයයන් දෙකකින් උපාධිය හැදෑරිම අත්හදා බැලිමක් කලා.මාත් ඒක කළා.පස්සේ දර්ශන විශේෂ උපාධියට හැදැරුවා.මහාචාර්ය එදිරිවිර සරත්චන්ද්‍ර , කේ.එන්.ජයතිලක ඩබ්ලිව්.එස්.කරුණාරත්න ආදි මහ ඇදුරන් මගේ ගුරුවරු වුණා.

    * විශ්ව විද්‍යාල ජිවිතේ කොහොමද ?

    ඒ කාලේ දර්ශනය සංගමයේ හා බෞද්ධ සංගමයේ මම සභාපති වෙලා හිටියා.සංඝාරාමයේ තිබු භික්ෂු සංගමයෙත් මම සභාපති.තව පෙරදිග භාෂා සංගමය කියලා සංගමයක් තිබුණා.ඒකෙත් සභාපති මමයි.

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති වෙලා ඉන්න කාලේ චක්‍රලේඛයක් ආවා හාමුදුරුවන්ට පත්විම් කියලා.අධ්‍යාපනවේදි උපාධිය කරපු හිමිවරුන්ට කියලා තිබුණා ගුරු පත්විම ගන්නනම් සිවුරු හැර එන්න කියලා.ඒ නිසා ඒ චක්‍රලේඛයට එරෙහිව අපි පෙළගැසුනා.ප්‍රධාන විශ්ව විද්‍යාල හතරේ භික්ෂු සංගම් එකතු කරලා අන්තර් භික්ෂු විශ්ව විද්‍යාල බල මණ්ඩලයක් හැදුවා.මමයි පේරාදෙණියේ සංවිධායක.ඔිමල්පේ සෝභිත හාමුදුරුවෝ විද්‍යොදයේ (ජයවර්ධනපුර) සංවිධායක.අපි අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහින් සාකච්ජා කළා.මැතිනියත් නියෝජිතයෙක් එවලා තිබුණා.එතුමිය චක්‍රලේඛය ගැන දන්නේ නැහැ කිව්වා.

    මම නැගිටලා කිව්වා ඔය කතා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න කියලා.මේ වගේ බරපතල ප්‍රශ්නයක් රටේ අගමැතිනිය දන්නේ නැත්නම් ඒ වගේ පාලකයන් පොල්පිතිවලින් හදාගන්න පුළුවන් කියලා මම කිව්වා.පස්සේ චක්‍රලේඛය ඉවත්කර ගත්තා.අද ඔය භික්ෂු අන්තරේ කියන්නේ අපි හදපු සංගමය තමයි.අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු සංගමය ඇතිවු⁣ණේ ඒ විදියට.

    * නායක හාමුදුරුවෝ අධ්‍යාපන කේෂ්ත්‍රයටත් පිවිසිණා..?

    රජයේ උපාධිධාරි පත්විම මට ලැබුණේ කදුරුපොකුණ මහ විද්‍යාලයට.ඊට කලින් මැල්සිරිපුර පොල්ගොල්ලේ ශාස්ත්‍රානන්ද පිරිවෙනේ කෙටි කාලයක් ඉගැන්නුවා.කදුරුපොකු⁣⁣⁣ණේ විද්‍යාලයෙන් මම කොළඹ වනාතමුල්ලේ සීවලි මහ විදුහලට ආවා.එදා කදුරුපොකු⁣⁣⁣ණේන් මම එනවිට විදුහල්පතිතුමා ඇඬුවා.

    පස්සේ විද්‍යෝදය පිරිවෙනේ ගුරුවරයකු ලෙස පත්වුණා.ඔයඅතරේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ධර්මාධ්‍යක්ෂ තනතුරට පත්වුණා.විශ්ව විද්‍යාල සිසුන් හිමිදිරියේම අවදිකරවා භාවනා කරවිම පහසු නැහැ.ඒත් මම ඒ වැඩේ හරියට කළා.මහචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමියන් ඒ දවස්වල කිව්වා මුරුංගාගස්යායේ ස්ථවිරයන් විතරයි ධර්මාධ්‍යක්ෂ තනතුර හරියට කළේ කියලා.

    විද්‍යාලංකාර (කැලණිය )විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යකමකට සම්මුඛ පරික්ෂණයකට මම ගියා.මහාචාර්ය ඩබ්ලිව්.එස්.කරුණාරත්න මහතා තමයි සම්මුඛ පරික්ෂණය කළේ.මම එයින් සමත්වුණා කියලා එතුමා මගේ යාළුවෙකුට කියලා තිබුණා.ඒත් දේශපාලන බලපෑමක් නිසා මට පත්විම ලැබුණේ නැහැ.අදත් මම සතුටු වෙනවා ඒ පත්විම නොලැබුණාට.ඒ පත්විම එදා ලැබුණානම් මම විශ්ව විද්‍යාල තුළම හිරවෙලා ඉන්නවා.මේ අද කරන කිසිම සේවයක් මට කරන්න වෙන්නේ නැහැ.

    * ඔබ වහන්සේ විදේශ ධර්මදුත සේවයට යොමු වුණේ කොහොමද?

    ඊට පෙර පුංචිකතාවක් කියන්නම්.මම පන්සලට ආපු වෙලාවක ගොළු මනුස්සයෙක් ආවා.මෙයා ශාස්ත්‍ර කියනවා.හැමෝම මෙයාගෙන් ශාස්ත්‍ර අහනවා.කියන්නේ හත් දෙනාටයි.මම ඉතින් බුලත් කොළයක රුපියලයක් දීලා ගොළු මනුස්සයා ගෙන් සාත්තරේ ඇහැව්වා.මේ මනුස්සයාට හොඳට සිංහල ඉංග්‍රීසි ලියන්න පුළුවන්.සාත්තරය ලියල⁣ා පෙන්වනවා.මෙයා ලිව්වා මම වැඩිකලක් ලංකාවේ ඉන්නේ නැහැ කියලා.පිටරට යාමක් ගැන මගේ ඒ කාලේ හිතකවත් තිබුණේ නැහැ.

    ඉතින් දවසක් විද්‍යෝදය පිරිවෙනේ උගන්වමින් ඉන්නකොට වත්මන් පරිවේනාධිපති බලංගොඩ සෝභිත හාමුදුරුවෝ ඇවිත් මගෙන් ඇහැව්වා ප්‍රංශයට යන්න කැමැතිද කියලා.මම හා කිව්වා.පස්සේ තමයි දැනගත්තේ හොඳට බණ කියන්න පුළුවන් හිමිනමක් ප්‍රංශයේ වැඩසිටින පරවාහැර චන්දරතන නාහිමියෝ සොයමින් සිටි බව.ඒ ඇරයුම තමයි මට පැරිසියට එන්න ලැබු⁣ණේ.දැනට මම ප්‍රංශයට ඇවිත් දශක තුනක් විතර වෙනවා.

    1985 ජුලි 3 වෙනිදා තමයි ප්‍රංශ ගමන තිබු⁣ණේ.ඒත් මම 2 වෙනිදාත් පිරිවෙනේ ඉගැන්නුවා.මම යන්න හදනවිට පරිවේනාධිපති අකරටියේ අමරවංශ නාහිමියන් කිව්වා ඤාණිස්සර ස්ථවිරයන්ගේ යෑම මට ගුරුවරු හතර පස්දෙනෙක් නැතිවුණා වගේ සමානයි කියලා.ගුරුවරුනම් ඔිනේතරම් හොයාගන්න පුළුවන්.ඒත් ඤාණිස්සර ස්ථවිර වගේ ගුරුවරු හොයා ගන්න බැහැ කියලා එදා නායක හාමුදුරුවෝ කිව්වා.ශිෂ්‍යයනුත් උත්සවයක් පවත්වලා කථා පැවැත්වුවා.තමන්ට අම්මා තාත්තා නැතිවුණා වගේ දැනෙනවා කියලා කිව්වා.එය මගේ හිතට තදින්ම දැනුනා.

    * ඔබ වහන්සේ සෑම වසරකම වෛද්‍ය සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනමනවා.?

    ඔව්.මගේ නංගි සෝමා ඉගැන්වු පාසලෙන් වෛද්‍ය විද්‍යාලයට සමත්වුණු ළමයෙක් ඉතාම ආර්ථික අපහසුතාවලින් පෙලි සිටිනවා කියලා මට කිව්වා.ඒ ළමයාට උදව් කිරිමෙන් තමයි ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ ආරම්භ කළේ.ඉතින් මේ වැඩපිළිවෙළ පුළුල් වෙලා වාර්ෂිකව එවැනි සිසුන්ට ශිෂ්‍යත්ව දෙනවා.

    * එපමණක් නොවේ ඔබ වහන්⁣සේගේ සමාජ මෙහෙවර අතිවිශාලයි…?

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරවල වැඩසිට අපවත්වන ස්වාමින් වහන්සේලාගේ ආදාහනය වෙනුවෙන් ආධාර කිරිම, මිද්දෙණිය කදුරුපොකුණ විදුහල්වලින් සරසවි ලබන සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදිම , සුනාමි හා ගංවතුරෙන් විපතට පත් අයට නිවාස ඉදිකර දිම, රණවිරු පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව දීම, රෝහල්වලට උපකරණ දීම වගේ නොයෙක් සේවාවන් කර තිබෙනවා.ඒ වගේම මිද්දෙණියෙ රෝහලේ කෝටි 4 1/2 ක් පමණ වියදමෙන් අංග සම්පුර්ණ වාට්ටු සංකීර්ණයක්,ඇතුළු තවත් පහසුකම් ඉදිකළා.එහි වෛද්‍ය නිල නිවාසයකුත් ඉදිකළා.කොරෝනා කාලේ එම රෝහලේ කොරෝනා රෝගින් සදහා වෙන්කළා.ඒ රෝගින්ට අවශ්‍ය සියලුම පහසුකම් මම ලබා දුන්නා.රෝ්ගින්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටත් වියදමට අවශ්‍ය මුදල් මම පිරිනැමුවා.

    * ඔබ වහන්සේ මෙතරම් සේවාවක් කරන්නේ කොහොමද ?

    මම මේ හැම දෙයක්ම කරන්නේ කාගෙන්වත් සත පහක්වත් ඉල්ලලා නොවේ.මට ලැබෙන දේ තමයි මම මේ දන් දෙන්නේ.ඒක මට සතුටක්.මේ උදව් ලබන අයගෙන්වත් මම ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නේ නැහැ.මම දෙන ආධාරයෙන් ඒ දරුවෝ හොඳට ඉගෙන ගන්නවානම් මට ඒ ඇති.අඩුතරමින් ඒ අයගෙන් ස්තුති කරපු ලිපියක්වත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.