fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මධ්‍යම අධිවේගයේ කොටසක් නොවැම්බරයේ ජනතා අයිතියට

    මධ්‍යම අධිවේගයේ කොටසක් නොවැම්බරයේ ජනතා අයිතියට

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම-කුරුණෑගල දක්වා කොටසේ වැඩ අවසන් කර නොවැම්බර් 15 වන විට ජනතා අයිතියට පත්කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    “මධ්‍යම අධිවේගී මාර්ගය අපට අවසන් කරන්න තිබුනේ මීට මාස නවයකට දහයකට කලින්. නමුත් කලින් පැවති යහපාලන රජය ඔවුන්ගේ යාළු මිත්‍රයන්ට ඇමතිවරුන්ට අයත් සමාගම්වලට කොන්ත්‍රාත් ලබාදීම හරහා තමයි මෙය සම්පූර්ණයෙන් ප්‍රමාද වුණේ. එහෙම වුණේ නැත්තම් මේ රටේ ජනතාවට මීට මාස 10කට පමන පෙර සිට මධ්‍යම අධිවේගී මාර්ගය පාවිච්චි කරන්න තිබුණා.

    ඒ නිසා අපිට සිද්ධ වුණා කැබිනට් එකට මගීන් වැඩ නොකරන කොන්ත්‍රාත්කරුවන්ව අවලංගු කරලා, උසාවි ගොස් උසාවියේ දී උන පොදු එකඟතාවයකින් නොවැම්බර් මාසෙ 15 වෙද්දි මේ අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කරන්න.

    ජනතාවට කියනවා අපි නිවැරදි තීන්දු තීරණ ගන්නෙ කියලා. අපි දේශපාලන පලිගැනීම් කරන්න ගියේ නැහැ. අපි දේශපාලන පලිගැනීම් කලා නම් මේ වැරදි කරපු අය මේ වෙද්දි ඉන්න ඕනි හිර ගෙවල්වල. අපිට අවශ්‍ය මේ රට සංවර්ධනය කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ මේ රට ඉදිරියට ගෙන යාම විතරයි අපගේ එකම බලාපොරොත්තුව. ඒ නිසා නොවැම්බර් මස 15 වෙද්දි සම්පූර්ණයෙන්ම මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය වැඩ නිමකරලා එය මහජනතාව විවෘත කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පැවසුවේ ජනාධිපතිවරයාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර පරිසර කළමණාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රට පුරා මාර්ග දෙපස පැල දස ලක්ෂයක් සිටවීමේ හරිත ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක් රෝපණය කිරිමේ වැඩසටහනට එක්වෙමිණි.

    මෙම වැඩසටහෙනන් අනතුරුව හදිසි නීතිය යොදාගෙන ආණ්ඩුව මර්දන ව්‍යපාරයක් කරගෙන යන බවට විපක්ෂය චෝදනා කිරීම පිළිබද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ ද කීය.

    “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ විධායක ජනාධිපති ක්‍රමය හරහා මර්ධනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එදා මැතිවරණ වේදිකාවේ දී එතුමාට එල්ල වුණු චෝදනාව තමයි මිනිස්සුන්ව මරලා කිඹුලන්ට කන්න දෙන නායකයෙක් කියලා. ඒවා අමූලික බොරු. මේ හදිසි නීති ගෙනල්ලා තියෙන්නේ මුළු ලෝකයම කොවිඩ් වසංගතයකට මුහුණු දුන් වෙලාවක අපේ රටේ කළු කඩකාරයන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට අරගෙන අධික මිල ගණන්වලට භාණ්ඩ විකිණීම නිසා තමයි මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මර්දනයකට නෙවෙයි මේ හදිස්සි නීතිය ගෙනත් තියෙන්නේ මිනිස්සුන්ට අඩුමිලකට භාණ්ඩ ලබා දෙන වැඩපිළිවෙළට තමයි මේ හදිසි නීතිය ගෙනල්ලා තියෙන්නේ.

    මිනිස්සුන්ගේ බඩගින්න නිවාගන්න අඩු මිලකට භාණ්ඩ ලබාදෙන්න පුළුවන් යුගයක් මේ කාල පරිච්ඡේදය තුළ නිර්මාණය කරන්න තමයි මේ හදිස්සි නීතිය ගෙනත් තියෙන්නේ, නැතුව වෙන දෙයකට නෙමෙයි. ඔය වගේ චෝදනා විපක්ෂය එල්ල කරන්නේ මේ අවස්ථාවෙත් දේශපාලනය බලය ලබාගන්න මතයක් ගොඩනගලා ආණ්ඩු පෙරලන්න පුළුවන් වෙයි කියලා බලාගෙන ඉන්න සමහර අය තමයි මේ චෝදනාව කරන්නේ. අකමැත්තෙන් උනත් හදිසි නීතිය ගෙනල්ලා මේවා පාලනය කරගන්න අවශ්‍යයි. මේවා පාලනය නොකෙරුවොත් මිනිස්සු ගසා කන යුගයක් ආරම්භ වෙනවා . ඒක අපි පසුගිය දින වල දී අත්දැක්කා .

    අධික මිල ගණන් ගණන් වලට භාණ්ඩ විකුණුවා . අධික මිල ගණන් වලට සීනි විකුණපු නිසා තමයි සීනි වල බද්ද අඩු කළේ. සීනි වල බද්ද සත විසි පහකට අඩු කෙරුවෙ ජනතාවට අඩු මිලට සීනි ලබාදෙන්න. එදා විපක්ෂය රජයට පහර දුන්නා සීනි බදු අඩුකරලා හොරකම් කළා කියලා. ඒගොල්ලන්ගේ කාලෙත් ඔහොම අඩු කෙරුවා. ඕක අළුත් දෙයක් නෙවෙයි. ලෝක වෙළෙඳ පොළේ සීනි මිල වැඩිවෙද්දි බදු අඩු කරනවා. ලෝක වෙළද පොලේ සීනි මිළ අඩු වෙනකොට බදු වැඩි කරලා ඒ ආදායමෙන් ජනතාවට සහන ලබාදෙනවා. ඒ ලැබෙන මුදල්වලින් රටේ සංවර්ධනය වැඩි කරනවා. එදත් විපක්ෂය මඩ ගැහුවා . අදත් විපක්ෂය මඩ ගහනවා .

    අද අපි කරන්නෙත් අධික ලෙස සීනි මිල, සහල් මිල ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි උනාම මිල පාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්ත එක. එහෙම තීන්දු ගන්න බැරිනම් ආණ්ඩුවක් මොකටද. ජනාධිපතිවරයෙක් මොකටද. ආණ්ඩුව නිවැරදි වෙලාවට තීන්දු අරගෙන තියනවා. ඒනිසා විපක්ෂයට කියනවා ඔබතුමන්ලා කරන දේවල් මේ රටේ මිනිස්සු දන්නවා කියලා. මේ රටේ අහිංසක ගුරුවරු ටික පෙළබෙව්වා. ඔවුන් අතරට විපක්ෂයේ කණ්ඩායම් යොදවලා ඔවුන්ව පාරට බස්සලා මිනිසුන් මරණ යුගයක් විපක්ෂය නිර්මාණය කලා.

    කොවිඩ් මර්ධන වැඩපිළිවෙල යටෙත් හොදම රටවල් දහය අතර මේ රට ගෙනෙද්දී, ඔවුන් බලාපොරොත්තු උනේ මේ රටේ මිනිසුන් ටික කොහොමද මරාගන්නෙ කියලා. ඔවුන් ඒ දෙය කලා. ඒ වෙලාවේ හදිසි නීතිය ගෙනල්ලා උද්ඝෝෂණ සියල්ල මර්ධනය කලා නම් ඔවුන් මොනවද කියන්නේ. හැබැයි ඒ වෙලාවේදී ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී විදියට උද්ඝෝෂණ නොකල යුතු කාලයක උද්ඝෝෂණ දියත් කරලා මේ රටේ ජනතාවට කොවිඩ් බෝ කෙරුවා.”

    මේ වන විට රටේ ක්‍රියාත්මක එන්නත්කරන වැඩ පිළිවෙල පිළිබදව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මේ අදහස් දැක්වීය.

    “එන්නත් වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථක ලෙස අපි කරගෙන යනවා. ලෝකයේ එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ප්‍රධාන රටවල් 10 අතර අපේ රට ඉදිරියෙන්ම ඉන්නවා. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. එන්නත ලබා දෙන්න එපා කියලා තමයි ප්‍රේමදාස මහත්තයාගේ කල්ලියේ අය ක්‍රියාත්මක වුණේ. එන්නත ලබා දෙද්දී ප්‍රේමදාස මහත්තයා කිව්වේ ශ්‍රී ලංකාව පරීක්ෂණාගාරයක් කරන්න එපා කියලා. ඔවුන් විවිධ සමාජ ජාලා මාධ්‍ය හදාගෙන සම්පූර්ණයෙන් කළේ මිනිස්සුන්ට මේ එන්නට ලබාගන්න එපා කියලා පණිවිඩ යවපු එක. එන්නත ලබාගත්තොත් අවුරුදු දෙකකින් මැරෙනවා කිව්වා. වෙනත් අතුරු ආබාධ එනවා කිව්වා.

    විපක්ෂය කරන්නේ එන්නත්කරණය අසාර්ථක කරන එක. මම පෞද්ගලිකව දැක්කා විපක්ෂයේ එක්තරා සමාජ මාධ්‍ය ගෲප් එකක සිටින වෛද්‍යවරයෙක් අසත්‍ය ප්‍රචාර අරන් යනවා එන්නත්කරණය පිලිබදව. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ රට පුරා ක්‍රියාත්මක එන්නත්කරණයඅසාර්ථක කරවන්න. ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව වෙහෙසෙන්නේ එන්නත්කරණය සාර්ථක කරගන්න. ඒ වගේම ජනතාවත් මේ එන්නත් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා .ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරලා කොවිඩ් වසංගතය මර්ධනය කරන්න තමයි අපේ බලාපොරොත්තුව.

    ලෝකයේ විවිධ රටවල් වල තීන්දු එක්ක අපි එකතුවෙලා මේ රට කෝවිඩ් වසංගතය මර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. විපක්ෂය කරන්නේ මහජනතාව මරණ මංචකයට රැගෙන යන එක. ඔවුන් 1971 දි 12,000ක් මරාගත්තා. 88/89 කාලෙදි හැටදාහක් පමණ තරුණ ජීවිත මරාගත්තා. දැන් හදන්නෙත් කොවිඩ් වසංගතය හරහා මිනිස්සු මරාගන්න. මේ අය හරිම ආසයි මිනිස්සු මැරෙන දිහා බලාගෙන ඉන්න. ඒ තරම් කාලකන්නි විපක්ෂයක් තමයි අද ඉන්නෙ.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.