fbpx
තවත්
    මුල් පිටුවspecialකන්දක් නොවූ අපේ සබඳ..

    කන්දක් නොවූ අපේ සබඳ..

    “මේ කවිය ඇසුරින් සකස් කෙරී ගායක ගුනදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත්  නොවීම ගැන මම කම්පා වෙමි
    -ද. මේ. ”

    (උපුටා ගැනීම: කඳුලු මිටියාවතින්,
    දර්ශන මේදිස් කවියාගේ කවිපොතේ දෙවන මුද්‍රණය)

    “සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන”
    ගීතය අප හදවත් නින්නාද කරන්නකි.

    කපුගේ ජීවය දුන් ගීතය ට විලිරුදා වින්ද, කවිය බිහිකළ කවියා ඔහුය.

    කලින් කලට විවිධ රචකයින්ගේ ගිණුම් වලට බැර වුවද, කවියේ නිර්මාපකයා ඔහුය.

    කවිපොතේ දෙවන මුද්‍රණය එලිදැක්වෙන තුරු දශක දෙකකට ආසන්න කාලයක් බලා සිටියෙමු.

    කවියාගේ මතවාදයන් අප මතයන්ට සමපාත නොවුවත්, කාව්‍ය රසය සහ අර්ථ රසය මනාව වින්දෙමු.

    90 පරපුරේ කවියෙකු වන දර්ශන මේදිස් “දිවයින ඉරිදා සංග්‍රහයේ” කවි පිටුවට අසූවේ දශකයේ අග භාගයේ යොමු කළ කවියක් පසුව කපුගේ ශූරින්ට යොමු කළේය. කපුගේ ශූරින් එම ගීයට තනුවක් යොදා ගායනා කළේය.

    පද රචකයා අඤාතව මුලදි ප්‍රසිද්ධ වූ “සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන” ගීතය කපුගේ ගේ ගැඹුරු හඬට කෙතරම් ගැලපුනාද යන්න විවාදයක් නැත.

    පද රචකයා කවරෙක්ද යන්න කාලයක් ජන සමාජයේ විවාදයට ලක් වුවත්, රචකයා සැඟවී ගොස් සිටියා වුවද, කපුගේ රචකයා කවුදැයි කම්පන ප්‍රසංගවලදී කීවේය.

    එහෙත් බොහෝ දෙනෙක් එය රත්න ශ්‍රී විජේසිංහයන්ට බැර කළහ. එයට හේතුව වූයේ කපුගේ කළ කැසට් පටයේ “කැසට් මුදලාලි” කල වරදකි. බාග වෙලාවට කැසට් මුදලාලි රත්න ශ්‍රී ගේ නම මාකටිං සඳහා භාවිතා කරන්නට ඇත.

    මේදිස්, කපුගේ සමග යම් මතවාදී ගැටුමක් ඇතිවූයේ එම කැසට් පටයේ ගීතයේ මාතෘකාව ලෙස යෙදූ “ආයාචනා” තේමාව නිසාය.

    එහි “උතුරින් දකුණට” යන මාතෘකාව උචිත යැයි කවියාගේ මතය වේ. එහෙත් එය සොඳුරු කලාකරුවන් වන කපුගේ ගෙත් මේදිස් ගෙත් මිතුරු කමට බාධාවක් නොවීය.

    කවියා අදහස් කරන්නේ, “උතුරින් දකුණට” සහ එය ධ්වනිත වන කොටස් ගීතයේ නොතිබීම නිසා එය නිසි අරුතෙන් බැහැරවීම නොමනා ලෙසය.

    මේදිස් මා මිතුරෙක් වූයේ මා මෙන්ම කාර්මික තාක්ෂණ ආයතනයෙ හි සේවකයකු වූ හෙයිනි. මගේ ජ්‍යෙෂ්ඨයෙක් වන ඔහු ට්‍රොට්ස්කිවාදී සමාජවාදියෙකි. ඔහුගේ දේශපාලනය පිලිබඳ විවේචනයක් තිබුණත්, ඔහුගේ ගතිගුණ සහ පෘථුල දැනුම පිලිබඳ විවේචනයක් නැත.

    දර්ශන මේදිස්

    ආනන්ද සමරකෝන් ලියූ ජාතික ගීය අනවසරයෙන් වෙනස් කළ රටක මේදිස්ගේ කවි දරුවාව පියවරු රැසකට බැර වීම සාධාරණීකරණයට ලක් කළ යුතු දැයි හැගෙයි.

    නැත. අනිවාර්යයෙන්ම නැත.

    ඇයි මේදිස් නිහඬ වුනේ?

    හේතුව මුල්ම ඡේදයේ දැක්වූයෙමි.

    දැන් අපි කවිය බලමු.

    කවියේ මාතෘකාව: උතුරින් දකුණට

    කවියේ අරුත කවියා යෙදූ මාතෘකාව මගින්  තම දේශපාලන මතවාදය වෙත හරවන්නේ ය.

    “උප මාතෘකාව: පීඩිත ජාතියෙ පීඩිතයන් ගෙන්
    පීඩක ජාතියෙ පීඩිතයන් වෙත.”

    මා පෞද්ගලික ව එකඟ නොවන ඔහුගේ දේශපාලන මතය මෙයයි. එහෙත් ඔහුගේ මතය දැරීමේ අයිතියට අපි ගරු කළ යුතුය.

    මා විස්වාස කරන එමෙන්ම ගරු කරන සමාජවාදය අනුව, ජාතිය මතවූ පීඩනය ජාතිවාදී දේශපාලකයන් විසින් කෘතිමව බිහිකළ, ඊනියා සමාජවාදීන් (ඔහුගේ සමාජවාදී පිලද ඇතුළුව) විසින් ඇති දැඩි කළ බිල්ලෙකි. එහි ආදීනව අපි වසර තිහකට අධික යුද්ධයෙන් දුටුවෙමු. අද ද ජාතිවාදී සෙවනැලි නැත්තේ නොවේ.

    ඔහු යෙදූ උප මාතෘකාව අනුව ඔහු දක්වන්නේ, ලංකාවේ ඇත්තේ ප්‍රධාන වශයෙන් ජාතිවාදී පීඩනයකි. (පීඩිත ජාතියේ/ පීඩක ජාතියේ).

    එහෙත් ලංකාවේ මෙන්ම මුලු ලෝකයම සැලකුවද, ප්‍රධානම පීඩනය වන්නේ ආර්ථික පීඩනය යි. එනම් ඇති නැති පරතරය යි. 70 දශකයේ තම මහන්සියට නියම අගය ලද උතුරේ දමිල සොයුරන් 80 දශකයේ ඊනියා විවෘත ආර්ථිකය නිසා අතරමං වූහ. ආර්ථික ව්‍යාකූලත්වයට ජාතිවාදීන් උන්ගේ ජාතිවාදී අර්ථකථනය දුන්හ.එහි අවසානය තිස් අවුරුදු යුද්ධයයි.

    මේදිස් කපුගේට එරෙහි වූයේ ඔහු කවියට යෙදූ මාතෘකා උප මාතෘකා ගීතයේ නොමැති වීම නිසාය. මාතෘකා කියා ගීත ගායනා කරනවා ඔබ අසා ඇතිද?

    එහෙමත් ගීත ඇත. හුණුවටයේ කතාවේ වැල්පාලමේ ගීතය ගෲෂා ගායනා කරන අයුරු සහ නන්දා මාලිනියගේ පවනේ සමහර ගීත ඊට නිදසුනක් වේ.

    “සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය කඳුරු වෙමු
    එකම කන්දෙන් වැටෙන”

    කවියා උතුරේ මිනිසුන්ගේ හඬ මේ යැයි දකුණේ මිනිසුන්ට සන්නිවේදනය කරන අපූරුව!. දේශපාලකයින් බෙදා පාලනය කිරීමේ නරුම ක්‍රමයෙන් (divide and rule) අසරණ වූ ජනයා අතර ඇතිකළ අසමගිය සමනය කිරීමට කවියා කෙතරම් සංයමයකින් බස හසුරා ඇත්ද?

    එකම කන්දක වැටෙන සුනිල දිය කඳුරු වල කුමන වෙනසක්ද? සමාජයෙන් උනුන් පරයා නැගෙන කඳු නොවන බව කියා පෑමෙන් උතුරේත් දකුණේත් වෙනසක් නොමැති බැව් පසක් කරයි.

    එහෙත් විශේෂයෙන් උතුරේත්, එමෙන්ම  දකුණේත් වෙලා ඇති කුලවාදයෙන්ද ලක් ජනයා කෙතරම් අසරණ ව ඇත්ද? මාගේ අදහස වන්නේ ජාති කුල වාද භේද ඉවත්ව යන සමාජයක් අප සැමගේ අපේක්ෂාව විය යුතු බවයි.

    කසාදයකදී ජාති, කුල, උස් පහත් භේදය කෙතරම් ප්‍රමුඛව බැලේ ද?

    ඒ සැම තැනක් සඳහාම “සබඳ අපි කඳු නොවෙමු” එකසේ වලංගු නොවෙද?

    මේදිස් ගේ කව් පෙලේ දෙවන කවිය වෙත හැරෙමු.

    “වියරු ගිනි දැල් නොවෙමු
    වනය අවුලා තබන
    අනෝරා වැස්ස වෙමු
    දැවෙන කැලයට වැටෙන”

    එදිනෙදා ජීවිතයේ අපේ අසහනකාරී ජීවිතවල වන දෙයත්, ඇත්තටම කලයුතු දෙයත් කවියා මොනවට පෙන්වා දී ඇති කවෙකි. අපි වියරු ගිනි දැල් අවුලන්න දක්ෂයෝ වෙමු. එහෙත්, ගිනි නිවන්නට අදක්ෂයෝ වෙමු.

    “චන්ඩ පවනක් නො වෙමු
    දෙරන අතුගා දමන
    මන්ද මාරුතය වෙමු
    දෙකොන සිපගෙන හමන”

    කවියා කපුගේ සමග මතවාදී ගැටුමකට පැමිණෙන ඊලඟ කාරණය වන්නේ ගීතයේ “මන්ද මාරුතය වෙමු- දෙකොන සිපගෙන හමන” නොමැති වීමයි. එම පද පේලි දෙක තිබුනේ නම් ඔහු බලාපොරොත්තු වූ මතය ගීතයෙන් සන්නිවේදනය වනු ඇත. එමෙන්ම මගුලට, මරණෙට කියන තවත් සොමි ගීතයක් නොවනු ඇත.

    එහෙත් ගීතය පුලුල් පරාසයක භාවිතා වීම මට අනුව නම් වරදක් නැත.

    චණ්ඩ පවනට වඩා මන්ද මාරුතය කෙතරම් අගනේද? එහෙත් අපගේ ජීවිතයේ චණ්ඩ පවනක් වූ අවස්ථා කෙතරම් ද? එහෙත් මන්ද මාරුතයක් වූවා නම් කෙතරම් හොඳදැයි පසුව නොසිතුනාද?

    “නපුරු හීනය නො වෙමු
    ලමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන”

    නිද්‍රාශීලි ජන සමාජය නපුරු හීන වලින් බැඳ තබා සිටින විට සොඳුරු අඬහැරයකින් ඔවුන් නින්දෙන් මිදිය හැකිනම් කෙතරම් අගනේද? එය ඔහුත්, ඔහුගේ පිලත් දකින සොඳුරු හීනයයි.

    ලොවම සමාජවාදී වන සොඳුරු හීනය සැබෑවේද? එය මගේ ජීවිතයේ අවසානයේදි වත් යථාර්ථය ක් වේද? ධනවාදී සමාජ ආර්ථික සන්දර්භයක් තුළ අපි නපුරු සිහිනයේ නිදන්නෙමු. සොඳුරු අඬහැ‍ර වලට සංවේදී නොවී තදින්ම නපුරු හීනයේම ගෙවන්නෙමු.

    “යකඩ පිත්තල නොවෙමු
    රජුන් උඩ පැන තලන
    බුරුත කොස් නැදුන් වෙමු
    උනට එසවිය නොහෙන”

    ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී නාමධාරී දේශපාලනය විසින් ජනතාව තලාදමන සමාජයක උන්ට තැලිය නොහැකි වගේම එසවිය නොහැකි අරටු කෙතරම් වටීද? කවියා අපෙන් අසයි. මේ කුණු දේශපාලන නරාවලේ අපි තැලෙන, උණුව වාත්තුවන ලෝහ විය යුතුද? දේශපාලනය විසින් අනුගාමිකයන් සහ ජනතාව උන්ගේ මතයට වාත්තුවන ලෝහවලට පත් කර ඇති නොවෙද?

    මෙම සන්දර්භය සැමට මූලික වූ සිතෙන්ද පැහැදිලි කළ හැක. අන් මතයට තැලෙන, වාත්තුවන සිතකට වඩා නිසි දර්ශනයක් සහිත අරටුවක් වන් සිතක් උතුම් නොවෙද?

    ලක් දේශපාලනය මෙන්ම ලෝක දේශපාලනයට ත් එකසේ උචිත විවරණයක් කවියාගේ අවසන් කවි පෙලෙන් දක්වා ඇත.

    “පිදුරු පොල් අතු නොවෙමු
    පැරණි ගෙට සෙවිලි වන
    සබඳ අපි ගඩොලු වෙමු
    අලුත් ගෙපැලක් බඳින”

    හැමදාම අපි කරන්නේ හිසරදය ට කොට්ටා මාරු කිරීමකි. ඇයි අපි මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමට පෙරමුණ  නොගන්නේ?
    කවියා අවසානයේදි පාඨකයින්ගෙන් අසයි!.

    මේ මගේ විචාරයයි. ඔබ මීට වෙනස්ව දකීනම් කරුණාකර ඒබව දක්වන්න.

    රුපියල් දෙසියයකට මිල කර ඇති කවි පොත් පිංච මිලදී ගෙන රසවිදීමට ඔබට ආරාධනා කරමි.

    (මට පුලුවන් හැටියට අඳින ලද මේදිස් සොයුරාගේ රුවක් ද මෙහි අමුණා ඇත)

    දිනෙත් සමරවික්‍රම

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම
    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.