දකුණු මුහුදුතීරය හරහා සිදුකරන මත්කුඩු ජාවාරමේ මෙරට නියෝජිතයෙක් බවට හදුනා ගෙන සිටින කළුදුර චමින්ද තාබ්‍රේව් නොහොත් බොබ්මාලි නැමැති ඡාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මහජන සහය පතයි.
පොලිස් මූලස්ථානය අද නිවේදනය කළේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් පොලිිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ 071-8592727 යන අංකයට හෝ 011-234333 -4 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසය.
බහුදින යාත්‍රා නියමුවෙන් වන මෙම සැකකරු 41 වියේ පසුවන අතර ඩුබායි හී සිටින දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වන කොස්ගොඩ සුජීගේ මත්කුඩු ජාලයේ දැවැන්තයෙක් ලෙසද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හදුනාගෙන තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදා එක්ව ඉකුත් 31 මහමුහුදේදී අල්ලාගෙන බේරුවලට රැගෙන පැමිණි හෙරායින් කිලෝ 288 යි ග්‍රැම් 644 ටද මොහුගේ සම්බන්ධයක් ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි. ගොඩබිමේ සිට එම මත්කුඩු ජාලය මෙහෙයවා ඇත්තේ ඔහු විසින් බවටද තොරතුරු ලැබී ඇත. ඒ සදහා ඔහු සතුව චන්ද්‍රිකා තාක්ෂණ දුරකතනයක්ද ඇතැයි හෙළිවී තිබේ.
මෙම ඡාවාරම්කරු පොලීසියේ දූෂිත නිලධාරීන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති බවට බුද්ධි අංශවලට තොරතුරුද ලැබී ඇත. ඉකුත් 31 වෙනිදා අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය අල්ලන්නට සතියකට දෙකකට පමණ පෙර අදාල දුරකතනය සමග ඔහු පොලීසියට හසුවී ඇති බව කියයි. ඒ හිදී පොලීසියේ දූෂිත නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් ඔහු නිදහස් වී ඇති බව බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටද තොරතුරු ලැබී ඇති අතර ඒ ගැන විමර්ශනයක් මේ වන විට සිදුවන බව සදහන්ය.
මෙම සැකකරු පදිංචිව සිටින බව සදහන් වන්නේ තලංගම සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලය. මේ වන විට ඔහු ඒ තැන්වලින් පළාගොස් සැගවී සිටින බව පොලීසිය කියයි. මොහුව අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරක් ලබාදෙන්නෙකුට මුදල් ත්‍යාග පවා ලබාදීමට පොලීසිය සූදානමින් සිටී.