fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිරේ ඉඳන්ම නඩුවලට පෙනී ඉන්න මිල්ලෑව නව බන්ධනාගාරයේ පහසුකම්

    හිරේ ඉඳන්ම නඩුවලට පෙනී ඉන්න මිල්ලෑව නව බන්ධනාගාරයේ පහසුකම්

    හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කෙරෙන නව බන්ධනාගාර පරිශ්‍රය, ආරක්ෂාව සහ තාක්ෂණයට ද මුල් තැන දෙමින් ඉදිකෙරෙන අතර බන්ධනාගාරයේ සිට ම වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සඳහා රැඳවියන් ඉදිරිපත් කිරීමේ තාක්ෂණික පහසුකම් ද ස්ථාපිත කරන බව රජය පවසයි.

    එමෙන්ම වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑවේ ඉදිකිරීමේදී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06) දින උපදෙස් දී තිබේ.

    ඒ, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට සූම් හමුව ඔස්සේ පැවැති සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයේ සිට එක්වෙමිනි.

    ඒ අනුව කාන්තා බන්ධනාගාරය මිල්ලෑවේ ස්ථාපිත කරන විට දරුවන් සිටින රැඳවියන් වෙන්කර දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ද සකස් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

    රුපියල් බිලියන 30ක් වැයවන මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිත බව නාගරික සංවර්ධන අධිකාරියේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරිහු මෙහි දී පැවසූහ.

    රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමක් මේ මොහො‌තේ සිදු නොවන බැවින් රජයට බරක් නොවී විකල්ප මාර්ග ඔස්සේ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙහි දී සඳහන් කළේ ය.

    බොරැල්ලේ පිහිටි වැලිකඩ බන්ධනාගාර භූමිය අක්කර 40කි. එහි ඇති චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැලසුම්කර තිබේ.

    ඒ හැරුණු කොට වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කෙරෙණු ඇත. ආයෝජකයන් කිහිප දෙනෙකු මේ වන විටත් එහි ව්‍යාපෘති සඳහා එකඟතාව පළකර ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    දැනට එසේ කැමැත්ත පළ කර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මෙම හමුවේ දී උපදෙස් දුන්නේය.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන හොරණ මිල්ලෑවේ පිහිටි භූමිය වතු සමාගමකට අයත් රබර් වගාකළ ඉඩමකි. එහි සේවයේ නිරතව සිටි වතු සේවකයන් 123 දෙනෙකුට මේ යටතේ වන්දි ගෙවීම සිදු වේ. ඔවුන් පදිංචිව සිටි වතු නිවාස 57ක් වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය නව නිවාස 57ක් අලුතින් ඉදි කරනු ලබයි.

    මැගසින් බන්ධනාගාරය පළමුවත් සෙසු බන්ධනාගාර ඉන් අනතුරුවත් මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කෙරෙන අතර වැලිකඩ එල්ලුම්ගහ ද මේ යටතේ හොරණට රැගෙන යන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

    රක්ෂිත බන්ධනාගාරගත කරන්නන් වරදකරුවන් නොවන අය බැවින් රිමාන්ඩ් බන්ධනාගාරය හොරණට රැගෙන යන විට ඒ අයට උවමනා පහසුකම් ස්ථාපිත කිරීම යෝග්‍ය බව ද අගමැතිවරයා මෙහි දී පෙන්වා දුන්නෙමි.

    මැගසින්, වැලිකඩ, රිමාන්ඩ්, කාන්තා යන බන්ධනාගාර එම නම්වලින්ම හොරණ මිල්ලෑවේ ස්ථාපිත කෙරෙනු ඇත. බන්ධනාගාර රෝහල, බන්ධනාගාර පුහුණු පාසල, පුනරුත්ථාපන මධ්‍යස්ථානය, බන්ධනාගාර බුද්ධි අංශය ද මිල්ලෑවේ ස්ථාපිත කෙරෙන අතර බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේ ද, නිල නිවාස සංකීර්ණයක් මාලබේ ද ඉදිකෙරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.