fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කංජිපානිගේ පියාට මන්නා පහර ආවෙ පූකුඩිකන්නාගෙන්

    කංජිපානිගේ පියාට මන්නා පහර ආවෙ පූකුඩිකන්නාගෙන්

    මත්කුඩු ජාවාරම් කරන, පාතාලයේ ප්‍රබලයෙක් වන බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්තේදී පෙරේදා (17) රාත්‍රියේදී මන්නා ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ සැගවී සිටින පාතාලයේ ප්‍රබලයෙක් වන පූකුඩිකන්නාගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

    පූකුඩි කන්නා සහ මෝදර පදිංචිව සිටි කුඩු සෙල්වි නැමැත්තිය අතර කාලයක් තිස්සේ ගැටුම් පැවැති බවත් එම ගැටුම්වල ප්‍රතිපලයක් ලෙස සෙල්වි ඇතුළු ඇගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙක්ම වෙඩි ප්‍රහරයන්ට ලක්ව ඝාතනය වී ඇති බවත් පොලීසිය සදහන් කරයි.

    පූකුඩිකන්නා කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි මත්කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකි.

    පූකුඩිකන්නා සමග එල්.ටී.ටී.ඊ.යේ සිටි වෙඩික්කරුවෙක් වන කෙනඩි නැමැත්තද එක්ව සිටින අතර සෙල්වි ඇතුළු කිහිප දෙනෙක් ඝාතනය වී ඇත්තේ ඔහු අතිනි.

    පොලීසිය සදහන් කරන්නේ සෙල්විගේ දරුවන් කංජිපානි ඉම්රාන්ගේ කල්ලියට සම්බන්ධවී සිටින බවයි.

    ඔහු ඩුබායි හී රැදී සිටින වකවානුවේදී සිය ගෝලයින් යොදවා 2018 වසරේ අගෝස්තු 03 වෙනිදා පූකුඩිකන්නාගේ පියාට මෝදර තැපැල් කන්තෝරුව අසලදී වෙඩි තබා ඝාතනය කර ඇත.

    ඒ වන විට ඉන්දියාවට පළාගොස් සිටි පූකුඩි කන්නා සිට පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පැමිණ ඇත්තේ බෝට්ටුවක නැගී බවත් මැදියම් රැයේ පැමිණ මළ ගෙදර විනාඩි දෙක තුනකට වඩා රැදී සිට නැති බවත් සදහන්ය.

    ඊට හේතුවී ඇත්තේ කංජිපානි ඉම්රාන්ගේ කණ්ඩායම ඔහුට ප්‍රහාරයක් එල්කිරීමට සූදානමින් සිටීම නිසා බව සදහන්ය.

    සිය පියාට එල්ලකළ ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් පූකුඩිකන්නා විසින් කංජිපානිගේ පියාව ඝාතනය කිරීමට සිය ගෝලයින් මගින් පෙරේදා (18) උත්සහ දරා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    කොරෝනා ඇඳිරිනීතිය හේතුවෙන් එය ප්‍රමාද වූ බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.