fbpx
තවත්
    මුල් පිටුවspecialලොවට ජීවය දෙන මීමැස්සන්, බේරාගන්න මඟකියන මීමැසි සිතියම්

    ලොවට ජීවය දෙන මීමැස්සන්, බේරාගන්න මඟකියන මීමැසි සිතියම්

     

    විද්‍යාඥයින් පවසන අන්දමට ලෝකයට වඩාත්ම වැදගත්වන ජීවියා වනුයේ මීමැස්සාය. ඉතා අනර්ඝ ඖෂධයන් වන මීපැණි මෙන්ම මීඉටිද, මීමැස්සාටම ආවේණික නිර්මාණයන්ය. විද්‍යාව කෙතරම් දියුණු වුවද ලොව කිසිදා කෘතීමව නිෂ්පාදනය කල නොහැකි වටිනාම නිර්මාණයන් දෙක ලෙස මව් කිරි සහ මීපැණි සැලකේ. මීමැස්සා විසින් නිපදවන මීපැණි වල B1, B3, B6 වැනි ඉතා වැදගත් විටමින් වර්ග සහ කැල්සියම්, යකඩ, zසින්ක් සහ පොටෑසියම් වැනි ඛනිජ වර්ගද අන්තර්ගතවේ. මීට අමතරව මීපැණි වල ඇති බැක්ටීරියා නාශක ගුණය (Antibacterial Properties) නිසා විවිධ ඖෂධ වර්ග නිපදවීම සඳහාද බහුලව භාවිතා වේ.

    මීමැස්සාගෙන් ජෛව පද්ධතියට ලැබෙන ප්‍රධානතම සේවාව වනුයේ පරාගණය මගින් ශාක ජීව චක්‍රය පවත්වාගෙන යාමයි. මීමැස්සාගේ මෙම සේවාව කෙතරම් වටිනවාද යත්, ඇතැම් ශාක වර්ග පරාගණය කලහැකි එකම ජීවීන් විශේෂයද මීමැස්සා පමණක්ම වෙයි. එමෙන්ම මිනිස් පරිභෝජනයට ගන්නා ශාක වර්ග වලින් 85%ක්ම පරාගණය කරනුයේ මීමැස්සන් මගින් බව පැවසේ.

    ලොව පුරා මීමැස්සන් විශේෂ (Species) 20,000කට වඩා ජීවත්වන බව පැවසේ. මෑතක සිට, කාළගුණික විපර්යාස, කෘමිනාශක භාවිතය, වනාන්තර හානිය වැනි විවිධාකාරයේ හේතු නිසා මෙම මීමැසි ගහණය දැඩිසේ විනාශ වී යාමේ තර්ජනයකට ලක් වී ඇත. Current Biology නම් තාක්ෂණික සඟරාව දක්වන පරිදි මීමැස්සන් සංරක්ෂණ සඳහා ඉතා වැදගත් පියවරක් විද්‍යාඥයින් පිරිසක් විසින් ආරම්භ කර ඇත. එනම්, ලොව පුරා මීමැස්සන් ව්‍යාප්ත වී ඇති ආකාරය සිතියම්ගත කිරීමයි.

    මීමැස්සන් සංරක්ෂණ කිරීම සඳහා පිඹුරුපත් සකස් කිරීමේදී ඔවුන්ගේ ව්‍යාප්තිය හා රටාවන් පිළිබඳව පැහැදිලි දත්ත නොමැතිවීම (විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල) හේතුවෙන් මෙම කර්තව්‍ය ඉතා අපහසු වී ඇති බවත්, මෙම අඩුපාඩුව වලක්වාගැනීම සඳහා මෙම කටයුත්තේදී පළමු පියවර ලෙස මෙම සිතියම් ගත කිරීම ආරම්භ කළ බවත් මෙම ලිපියේ ප්‍රධාන කර්තෘ මයිකල් ඕර් පවසයි. මෙම සිතියම් සකස් කිරීම සඳහා මෙම පර්යේෂණ කණ්ඩායම, ලොව පුරා මීමැස්සන් ව්‍යාප්තිය පිළිබඳව ඇති වාර්තා මිලියන 5.8 ක් පමණ පරිශීලනය කළබව පැවසේ. පෘථිවියේ දක්ෂිණ අර්ධගෝලයට වඩා උතුරු අර්ධගෝලයේ මීමැස්සන් ව්‍යාප්තිය වැඩි බවත්, වනගත ප්‍රදේශ වලට වඩා වියළි කලාපයේ මීමැස්සන් ව්‍යාප්තිය වැඩි බවත් මෙම සිතියම් වලින් අනාවරණය වී ඇත.

    මීමැස්සන් ව්‍යාප්තිය පිළිබඳව වඩාත් නිවැරදි දත්ත භාවිතයෙන් ඔවුන්ගේ ජීවන රටාව මනාලෙස අධ්‍යයනය කිරීමට හැකි වනු ඇති බවත්, එමගින් ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනජීවිතය නංවාලීමටද හැකිවනු ඇති බවත් මයිකල් ඕර් විසින් වැඩිදුරටත් පවසා ඇත.

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.