සිරුරේ උෂ්ණාධිකබව කියන්නේ තරමක් කරදරකාරී ගැටලුවක් වගේම ඒ හරහා සිරුරේ බාහිර වගේම අභ්යන්තරත් යම් යම් රෝග මතු වීමට පුළුවනි. ඒ නිසා මේ පීඩාකාරී බවෙන් මිදීමට කැමති ඔබට මේ ලිපිය වැදගත් වේවි.
අදහස් දැක්වීම
රක්වාන ආයුර්වේද රෝහලේ
වෛද්‍ය චේතිකා නාගහවත්ත.
උෂ්ණාධික සිරුර ඇති වන්නේ කොහොමද ?
පුද්ගලයෙකුගේ නිරෝගීතාවයට ආයුර්වේදයට අනුව වාත, පිත, කඵ (ත්‍රිදෝෂ) සමතුලිතතාවය බලපානවා.
මේ ත්‍රිදෝෂ අතරින් සිරුරේ උෂ්ණත්වයට බලපාන්නේ පිත් දෝෂය.
පිත දෝෂය කෝපවීම හරහා සිරුරේ උෂ්ණාධික ලක්ෂණ පහළ වීමත් උෂ්ණ රෝග හටගැනීමත් බහුලව දකින්න තියෙනවා.

සිරුර උෂ්ණාධික වීමට හේතු
– ජානමය බලපෑම.
– වැරදි ආහාර රටාව (පිත වර්ධක ආහාර වැඩිපුර ගැනීම)
උදාහරණ: නිතර නිතර මාංශ ආහාර (හරක් මස් , බල මාළු), තක්කාලි, අන්නාසි, විනාකිරි, කිරි අල, අබ, අඹ, රඹුටන්,ලොවි, මැංගුස්, දූරියන්, ගඩුගුඩා, රාබු, කොල්ලු, අච්චාරු, මුරුංගා, ඉස්සො, දැල්ලො, මිරිස් හා තෙල් යෙදූ ආහාර, ක්ෂණික ආහාර, කෘතිම රසකාරක යෙදූ ආහාර පාන වැනි උෂ්ණාධික ආහාර පාන ලබා ගැනීම.
– අවිධිමත් දින චර්යා රටාව
උදා: නිදි මැරීම, දිවා නින්ද, නිතර කේන්ති ගැනීම
වැනි හේතු බලපානවා සිරුරේ උෂ්ණාධික වීමට.
Health food for weight loss with lean meat, fruit, vegetables and grain salad. Super foods high in antioxidants, anthocayanins, protein, vitamins and dietary fibre. Top view on white wood.
උෂ්ණාධික සිරුර බාහිරින් හදුනා ගත හැකි ලක්ෂණ
- නිතර දහඩිය දැමීම
- දහඩිය දුගද හැමීම
- සිරුරේ දැවිල්ල
- දෑස් වල දැවිල්ල
- අත්, පතුල්, තොල් පැලීම
- සමෙහි වියලි බව
- කුරුලෑ ඇති වීම
- මුඛ දුර්ගන්ධය
- හිස කෙස් සුදු වීම හා ගැලවී යාම
- හිස් හොරි ඇති වීම
- අත්, පා, ඇඟිලි, සම කැසීම, බිබිලි මතු වීම
- ඇතැම් ආහාර වලට ආසාත්මිකතා පෙන්වීම.
උෂ්ණාධික සිරුර නිසා හට ගන්නා රෝග
* රතගාය (දරුවන්ට)
* විසර්ප විස්පෝට ආදී සමේ රෝග (කුෂ්ඨ)
* මුඛ පාක
* ගැස්ට්‍රයිටිස්
* මළබද්ධය
* අර්ශස්, භගන්දර, පරිකර්තිතා (ගුද මාර්ගයේ පැලීම්) වැනි ගුද රෝග
* පුරුෂ මදසරුභාවය
* කාන්තාවන්ට ගර්භාෂගත රෝග, දරු ඵල ප්‍රමාද වීම, සුද යාම, ආර්තව ගැටලු
* පිලිකා
* මානසික ආතතිය
* හිසරදය
* අක්ෂි රෝග
සැළකිය යුතුයි.
උෂ්ණාධිකභාවය නිසා ඇති වන හිසරදය සමනයට ඖෂධ යෙදීමෙන් ඇතැම් පුද්ගලයන්ට කඵ කෝප වී හිසරදය, සෙම ඇති විය හැකියි. විශේෂයෙන්ම සිරුරේ පිත හා කඵ දෝෂ ප්‍රමුඛතාවය සහිත එනම් පිත කඵ ප්‍රකෘතිකයන්ට මෙලෙස පිත සමනය කරන විට සෙම වැඩි වීම බහුලව දකින්න පුළුවන්. ඒ නිසා නිවැරදිව වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළින් මේ තත්ත්වය වලක්වා ගත හැකියි.
උෂ්ණාධික සිරුර පාලනයට අභ්‍යන්තර වගේම බාහිර ඖෂධ ලබාගැනීම කලයුතුයි.
ආයුර්වේදයෙහි ඒ සඳහා පිත සමනය කරන ඖෂධ, ආහාර සමඟින් විහරණ (සුදුසු ඇවතුම් පැවතුම්) දක්වන අතර ජීවන රටාව ඊට අනුකූලව යහපත් ලෙස සකසා ගැනීම වැදගත්.
බාහිර වශයෙන්
– සුදුහදුන් එලකිරි සමඟ ගැල්වීම.
– සැවැන්දරා ඇල්දියෙන් අඹරා සමෙහි ආලේපය.
– රසකිඳ කොළ /බෙලි කොළ ආදිය අඹරා අත් පා පැලුනු ස්ථාන වල ආලේපය වගේම පිණ්ඩ, සර්ව විශාදි, සීතෝදක වැනි තෙල් වර්ග සිරුරේ ආලේපය.
– ත්‍රිඵලා, නීල්‍යාදි වැනි තෙල් හිසෙහි ආලේපය.
– දිනපතා ඇල් දිය ස්නානය මෙන්ම ස්නානයේදී ඖෂධීය කොළ පොතු තැම්බූ ජලය නෑම ගුණයි.
ඒ වගේම අභ්‍යන්තර වශයෙන් ඖෂධීය පාන ලබා ගැනීම යෝග්‍යයි.
නෙල්ලි, රසකිඳ පානය
කොත්තමල්ලි පානය
බෙලිමල්, ඉරමුසු, රණවරා, පිපිඤ්ඤා පොකුරු වද මල් පානය.
කහ, කරපිංචා ආහාරයට ගැනීම.
කොහිල, මුංඇට, විළඳ, සව් ආදියේ කැඳ පානය.
උදෑසන දියබත් ආහාරයට ගැනීම හා ගිතෙල් ආහාරයට එක් කර ගැනීම වඩාත් යෝග්‍යයි.
උදෑසන දියබත් ආහාරයට ගැනීම මෙන්ම ගිතෙල් ආහාර වලට එකතු කර ගැනීමත් වඩාත් හිතකරයි.
බාහිරින් කෙතරම් ආලේපන ගැල්වූවත් සිරුරේ අභ්‍යන්තර සිසිල් බවක් ඇති කරන මෙවැනි ආහාර පාන, ඖෂධ ලබා ගැනීම වැදගත්.
ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම වැදගත්. එයින් පිත කඵ දෝෂ අසමතුලිතතාවය වලක්වා ගන්න පුළුවනි.
උෂ්ණාධික ආහාර පාන හා ඔබට ආසාත්මිකතා ඇති කරන ආහාර පාන වලින් වැළකීම වගේම උෂ්ණාධිකබව පාලනය වන දෑ වලින් සමන්විතව ජීවන රටාව ගත කිරීම වැදගත්.
ඖෂධ, නිවැරදි ආහාර පාන රටා වගේම ක්‍රමවත්ව ජීවන රටාව සකස් කර ගැනීම හරහා නිරෝගී යහපත් ජීවිතයක් ලඟා කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි.