ගම්පහදී පොලීස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වූ චමින්ද එදිරිසූරිය නොහොත් චමියා නැමැති පාතාලයේ අපරාධකරුගේ අනියම් බිරිඳක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
දිල්හානි හතුරුසිංහ නොහොත් කුඩු ආශා නැමැති ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වත්කම් ප්‍රමාණයක් ඇය සතුව තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සැකපිට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවැසීය.
චමියා නැමැති අය පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වන්නේ මෑතකදීය. කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට එල්ලකර සමයං නැමැති අපරාධකරු ඇතුළු හත් දෙනෙක් ඝාතනය කිරීමටද ඔහු සම්බන්ධව සිටියේය. අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුවෙක් වූ චමියා හමුදාවෙන් පළාවිත් සිටි සෙබලෙකි.
ඔහුගේ අනියම් බිරිද වන කුඩු ආශා ලක්ෂ 50 ක් වැය කර ගම්පහ මල්වතු හිරිපිටියෙන් කඩකාමර කිහිපයක් මිලදී ගෙන ඇති බවත් 2019 සහ 2020 අතර කාලයේදී ඇගේ නමට ඇති බැංකු ගිණුමකින් රුපියල් මිලියන 23 ක් හුවමාරුවී ඇති බවත් අජිත් රෝහණ මහතා කියයි. එම මුදල් ඇයට ලද ආකාරය සහ එම මුදල් වියදම් කළේ කුමන කාර්යයකටද යන්න පැහැදිලි කිරීමට ඇය අපොහොත්ව ඇතැයිද අජිත් රෝහණ මහතා කීය.
එම සැකකාරිය මුදල් විශුද්ධිකරණයෙන් අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට ඉදිරිපත්කර දින 14 කට රක්ෂිත බන්ධනාගාරගත කර බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.