fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ළමන්ගේ අසැබි දර්ශන 500 ක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකළ තරුණයා කොටුවේ

    ළමන්ගේ අසැබි දර්ශන 500 ක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකළ තරුණයා කොටුවේ

    සමාජ මාධ්‍ය ඔස්සේ සිය මිතුරන් අතර ළමුන්ගේ අසභ්‍ය දර්ශන හුවමාරුකළ බඩල්කුඹුරේ පදිංචි 25 වියැති තරුණයෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    එම තරුණයා උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා පාඨමාලාවක් කිරීමේ සූදානමින් නිිවසේ සිටින ගතකරන අයෙකි. මව ගුරුවරියකි. මෙම තරුණයා සමාජ මාධ්‍ය ජාල පරිශීලනයට තදින්ම ඇබිබැහි වී සිටින්නෙක් වන අතර එක්තරා සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ ඔහු එම ඇසැබි ඡායාරූප සහ වීඩියෝ 500 කට වැඩි ප්‍රමාණයක් මිතුරන් අතර හුවමාරුකරගෙන ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. දිනකට ඡායාරූප 20 -30 අතර ප්‍රමාණයක් ඔහු විසින් සිය ජංගම දුරකතනය ඔස්සේ හුවමාරුකර ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සදහන් කරයි. මෙසේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන හුවමාරු කර ගැනීම වෙනුවෙන්ම එම සමාජ මාධ්‍ය ජාලයේ කණ්ඩායම් සකස් වී ඇති බවත් එම කණ්ඩායමට මෙම අසභ්‍ය ඡායාරූප ඔහු විසින් අන්තර් ජාලයෙන් සොයා ඇතුළුකරන බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    එසේ අසභ්‍ය ළමා ඡායාරූප හුවමාරුකරන සමාජ ජාල කණ්ඩායම් රැසක් මෙම විමර්ශනයේදී හදුනාගෙන ඇතිඅතර මෙම තරුණයා ව්‍යාජ ගිණුමක් ඔස්සේ ඊට සම්බන්ධ වී සිට ඇති බවත් ළමා හා කාන්තා කාර්යාංශය සදහන් කරයි.

    එසේ ළමුන්ගේ අසභ්‍ය දර්ශන ඕනෑම සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ අන්තර් ජාලයට එක්කරන පුද්ගලයින් හදුනා ගැනීමට පහසුකම් සපයන දත්ත පද්ධතියක් ෆේස් බුක් සමාගමෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ලැබී ඇති අතර මෙම තරුණයාව හදුනාගෙන ඇත්තේ එම දත්ත පද්ධතියෙන් ලබාදුන් තොරතුරුවලට අනුවය.

    එම දත්ත පද්ධතිය ළමා හා කාන්තා කාර්යාංශයේ ඉකුත් ජූනි 17 වෙනිදා ස්ථාපිත කළ දින සිට මේ දක්වා 18000 කට වැඩි ළමයි සම්බන්ධයෙන් වූ අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම් සම්බන්ධයෙන් තොරතුරු එම දත්ත පද්ධතියට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය. එම ඡායාරූප සහ වීඩියෝ ඇතුලත්කල පුද්ගලයින්ද මේ වන විට හදුනාගෙන ඇති අතර ඒ අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද මේ වන විට ක්‍රියාත්මක බව අජිත් රෝහණ මහතා කීය.

    අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.