fbpx
තවත්
    මුල් පිටුවspecialයකඩ ඌණතාවයෙන් මිඳි නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ලබාගැනීමට

    යකඩ ඌණතාවයෙන් මිඳි නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ලබාගැනීමට

    සංවර්ධනය වෙමින් පවතින අපේ රට වැනි රටවල යකඩ ඌණතාවය තරමක් සුලබය. අපේ රට තුළ ගුණ පෝෂ්‍යදායි ආහාර පාන රටාවකට හුරු වූවත් මෙවැනි පෝෂණ ඌනතා ඇතිවීමට හේතු හා එවැනි ඌණතා වලින් මිඳි සෞඛ්‍ය නිරෝගී ජිවිතයකට මඟ පාදා ගැනීමට මේ ලිපිය ඔබට වැදගත් වේවී.

    නිරක්තිය කියලා හඳුන්වන්නේ කිනම් රෝගී තත්ත්වයක් ද ?
    සිරුරේ නිරෝගීතාවයට විවිධ පෝෂක කොටස් අවශ්‍ය වෙනවා. සිරුරට අවශ්‍ය පෝෂණ සංඝටක අඩුවීමක දී විවිධ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරනවා.
    රුධිරයේ හිමොග්ලොබීන් නම් සංයෝගය ඌණ වූ විට ඇති වන රෝගී තත්ත්වයක් ලෙස නිරක්තිය හඳුන්වන්න පුළුවන්.

    හිමොග්ලොබීන් කියලා කියන්නේ
    අපේ සිරුරේ ලේ වල තියනවා විවිධ සෛල වර්ග රතු රුධිරාණු සුදු රුධිරාණු වැනි සෛල වර්ග,
    රතු රුධිරාණු සෛල ඇතුලේ තියනවා හිමොග්ලොබින් කියන සංඝටකයක්. හිමොග්ලොබින් වලින් තමයි සිරුර පුරාම ඔක්සිජන් සැපයීම සිදු කරන්නේ. හිමොග්ලොබීන් හොඳ මට්ටමක පැවතීම තුළ සිරුර පුරා ඔක්සිජන් සැපයීමේ ධාරිතාව හොඳ මට්ටමක පවතින බව හඳුනාගැනීමට පුළුවන්.

    හිමොග්ලොබින් අඩු වීමට හේතු
    අප ලබා ගන්නා ආහාර වල යකඩ ප්‍රෝටීන හා අනෙකුත් පෝෂණ කොටස් අඩුවීම තුළින් හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවෙනවා. හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවීම තුළ සිරුර පුරා ඔක්සිජන් ගෙන යාමේ හැකියාව ද අඩුවෙනවා. අපේ සිරුරේ ස්නායු පද්ධතියට / අස්ථි / පේෂි /හෘදය / වකුගඩු වැනි සිරුරේ සෑම ඉන්ද්‍රියන් ක්‍රියාකාරීත්වයට හොඳින් ඔක්සිජන් ලැබීම අවශ්‍යයි.

    සාමාන්‍ය නිරෝගි පුද්ගලයකුගේ හිමොග්ලොබීන් ප්‍රමාණය 100 ml ක් ගත්තාම හිමොග්ලොබීන් 12g  ප්‍රමාණයක් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ තියෙනවා.

    තරුණ ගැහැණු ළමයෙකුගේ නිසි පෝෂණය වගේම උසට සරිලන බර වගේම සිරුරේ ලේ අඩුකම නොතිබිය යුතුයි. එයට හේතුව අනාගතයේ දී ගර්භණිභාවයට එය බලපෑමක් වෙන්න පුළුවන්.

    ගර්භණි අවස්ථාවල දී
    උසට සරිලන බර අඩු වූ විට වගේම ඇය යම් පෝෂණ ඌණතාවකින් පෙළෙනවානම් ( යකඩ, අයඩීන් වැනි පෝෂණ ඌණතා තුළින්) හිමොග්ලොබීන් ප්‍රමාණය අඩු නම් කළලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. සාමාන්‍යයෙන් ගර්භණියකගේ පළමු හා දෙවන තුන්වන මාස වල දී දරුවාගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය විකසනය වීම ඇරඹීම සිදුවන්නේ එහි දී හොඳින් ඔක්සිජන් ප්‍රමාණයක් මවගේ රුධිරය හරහා කළලයට යාම තුළ නිරෝගී සෞඛ්‍යමත් දරුවකු වැඩීමට උදව් වෙනවා.

    ගර්භණි මව නිරක්තියෙන් පෙළෙනවානම්
    මවගේ හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවීම හරහා බබාට ලැබෙන ප්‍රමාණයත් අඩුවෙනවා. ඒ තුළින් අඩු උපත් දරුවකු බිහිවීමට බලපානවා.

    නිරක්තිය හඳුනාගත හැකි පොදු ලක්ෂණ

    • මහන්සිය
    • නිදිමත ගතිය
    • හුස්ම ගැනිමේ අපහසුතා
    • දහඩිය දැමීම
    • හිසරදය
    • සුදුමැලි බව
    • කම්මැලි ගතිය

    නිරක්ති රෝගී තත්ත්වය දරුණුවට තිබු විට හෘද වස්තුවට බලපානවා. එයින් හෘදයට හානි වීමට පුළුවන්. හෘදය විශාල වෙන්න බලනවා. රුධිරය පොම්ප කිරිමේ හැකියාව අඩුවෙනවා. මේ රෝගයේ බාහිර ලක්ෂණ ලෙස අස්ථි දුර්වල වී කකුල් ඉදිමුම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා.

    යකඩ ඌණතාවය නිසා ඇති වන නිරක්තියට හේතු

    කාන්තාවන්ට අර්ථහරණ වන තෙක්ම මාසිකව සිදුවන ඔසප් වීම. එහි දී හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවෙනවා. මේ අඩුවන රුධිර ප්‍රමාණය නැවත සාදා ගැනීමට යකඩ සපිරි ආහාර වේලක් ලබා ගත යුතුයි.

    පණු රෝග
    නිසි පෝෂණයක් නොලැබීම
    යකඩ උරා ගැනීමට බාධා වන ආහාර පාන ලබා ගැනීම. උද්‍රා : කෝපි, තේ, වැනි

    ආහාර ලබාගත් පසු පැයක් ගත වනතෙක් තේ/කෝපි වැනි පාන ලබා නොගත යුතුයි.
    ඒ වගේම ආහාර ලබා ගැනීමට පැය භාගයකට ප්‍රථම මෙවැනි තේ/කෝපි ලබා ගන්නවා නම් සුදුසුයි.
    රසකාරක යෙදු ක්ෂණික ආහාර ලබා ගැනීම.

    යකඩ ඌණතාවය හඳුනා ගැනීමට කරන වෛද්‍ය පරික්ෂණ

    හිමොග්ලොබීන් පරික්ෂණය
    සම්පුර්ණ රුධිර පරික්ෂණය
    ඔබට එදිනෙදා කරන කාර්යයන් වල දී වෙනදාට වඩා මහන්සියක් කම්මැලිකමක් දැනෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍යයි. එහි දී ඉහත දැක් වූ වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කර රෝගී තත්ත්වය හඳුනා ගෙන ප්‍රතිකාර ලබා දෙනවා.

    එහි දී ඔබට මේ නිරක්තිය වැළ දී ඇත්නම් බොහෝ වේලාවට අපි (වෛද්‍යවරු) උපදෙස් ලබා දෙනවා. ස්වභාවික ආහාර මගින් මේ රෝගය වළක්වා ගන්න උපදෙස් ලබා දෙනවා.
    සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙනවා.
    නැත්නම් මාස 06 කට යකඩ පෙති ඖෂධය ලබා දී නැවත වෛද්‍ය පරික්ෂාවක් කර බලනවා. අවශ්‍ය ලෙස හිමොග්ලොබීන් ප්‍රමාණය සිරුරේ හැදිලා ද කියලා.

    පාසල් දරුවන්ට නිරක්ති ගැටලුව තිබේනම්
    1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පළමු මාස 06 ක් වනතෙක් යකඩ පෙති, ෆෝලික් අම්ල, විටමින් C ලබා දීම සිදු කරනවා.
    මීට අමතරව පණු බෙහෙත් ඖෂධය ලබා දෙනවා.

    ගර්භණි මවකට
    ගර්භණි 03 මාසයෙන් පසු යකඩ පෙති ලබා දෙනවා.

    යකඩ අඩංගු ආහාර ලබා ගැනීමට ඔබ පුරුදු විය යුතුයි.
    මස්
    මාළු
    කරවල
    හාල් මැස්සෝ
    –          වැනි මාංශ ආහර

    ඒ වගේම
    කව්පි
    කඩල
    මුං ඇට
    –          වැනි ධාන්‍ය ඇට වර්ග

    මෙවැනි ධාන්‍ය වර්ග ආහාරයට ලබා ගැනීමට පෙර පැය 20 හොඳින් ජලයේ පෙගෙන්න හැර තම්බා ආහාරයට ගැනීම නිසා යකඩ අවශෝෂණය පහසු වෙනවා.
    සමහර ආහාර වර්ග පිපෙන්න තියනවා. එවැනි අවස්ථා වල දීත් යකඩ සිරුරට උරා ගැනීම පහසු කරනවා.
    එසේම ආහාර සැකසීමේ දී සලාද ලෙස ආහාරයට එක්කරන වර්ග වල දී ඇඹුල් (දෙහි/තක්කාලි/ගොරකා/සියඹලා) එක්කිරීම තුළ යකඩ උරා ගැනීමට උපකාර වෙනවා.

    ආහාර ගත් පසු පළතුරු වර්ගයක් ආහාරයට එක්කර ගැනීම තුළත් යකඩ අවශෝෂණය පහසු කරනවා.

    නිසි පෝෂණ සපිරි ආහාර රටාවකට හුරුවීම තුළ මෙවැනි පෝෂණ ඌණතා වළක්වා ගෙන නිරෝගී සුවපත් දිවියක් ගෙවීමට ඔබට හැකියාව ලැබෙයි.

    අදහස් දැක්වීම,
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ,
    ශාන්ති ගුණවර්ධන මහත්මිය

     

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.