fbpx
තවත්
    මුල් පිටුවඅමරබන්දුගේ වාඩියඅපේ මින්ස්සුන්ට අමු කැවිලාය

    අපේ මින්ස්සුන්ට අමු කැවිලාය

    අමරබන්දුහට වෙනදා මෙන් හිතුමනාපෙට කඩ පිළට ගොසින් ගමේ එකෙක් එක්ක අල්ල පනල්ලෙ කයියක් ගසා එන්නට හැකියාවක් නැත. මේ දිනවල ඔහු සිටින්නේ සිය දකුණත කරේ එල්ළාගෙන ලණු ඇදට හේත්තු දී ගත් ගමන්ය.

    “මී නාම්බෙක් එක්ක වෙලේ ඔට්ටු වෙලා මේ නස්පැත්තිය උනා නං දුක නෑ.. මේ දිරච්චි වැට පොල්ලට අත අහුවෙලා මේ කරුමෙ සිද්ධ උනා කියලා අහන එකෙක්ට රෙද්දක් ඇදගෙන කොහොම කියන්නද?” සිය දකුණත උරේ එල්ලාගෙන අමරබන්දු සිටින්නේ කට ඇද කොරගත් වනමය. කොටින්ම මේ පසුගිය දිනෙක කලබලේට එළිපත්තේ ඇති වැට පොල්ල අදින්නට ගොස් ඊට ඔහුගේ මාපට ඇගිල්ල අසු වී ඇගිල්ල බිදී යාම පෙනුමෙන් සුළු වුවද වෙදරාළහාමි ඊට බැන්ද පත්තුව නම් තුවාලෙට වඩා දස ගුණයක් මහතය එබැවින් අමරබන්දුගේ ඇගෙන් හරි අඩක්ම අඩපණ වී ඇති සෙයකි. වෙද අණද දෙසතියකට නිවසින් බැහැර නොවී විවේකීව සිටිනා ලෙස බැවින් “මීට වඩා හොදයි මාව මරල දැම්ම නං” යැයි ඔහුගේ මුවින් නිතරම මැතිරෙන්නේය.

    සැමදා ආණ්ඩුවෙ පැක්ටේරියෙ රාජකාරියට යන අමරමබන්ද්ගේ මායියා නැති අඩුව පුරවන්නට පැමිණි ඇගේ මව හැකි පමණින් අමරබන්දු හට බතක් ව්‍යන්ජනජක් පිස දෙන්නීය. අසූ වියත් පසු කර වියපත්ව සිටින ඒ උන්ද අපහසුවෙන් අඩි තබමින් මුළුතැන්ගෙයි අල්ලන අඩවුව බලාසිටින අමරබන්දුගේ හද පිළිස්සී යන්නේය.

    “ඔන්න ඔහේ තියෙන බතක් කමු අම්මා…” උන්ද හති අල්ලමින් ලිපට පිඹිණු බලා සිටි නොහැකි තැන හෙතෙම කියන්නේය.

    “ඔන්න ඔහෙං ඈදිගෙන ඉදිං දරුවො.. ලෙඩ වෙච්ච් අහක තමයි පදමට කන්න ඕනෙ..” යැයි කියමින් හදවතේ රිද්මයට අනුව අතපය වාරු නැතුවා වුවද ඇය පිස දෙන හොද්ද දෙක දිව්‍ය භෝජන පරදන්නේය. පිට එකා වුවද තමන්ගේ දරුවෙකුට මෙන් සැලකීමම සොත්ති වූ අමරබන්දුගේ සිත පුරවාලන්නේය.

    ලණු ඇදට බර වී ඒ මේ අත පා වෙමින් හුන් ඔහුගේ මනස එක වර බින්දේ ගුරු පාර දෙසින් ආ කොල්ලො කුරුට්ටන්ගේ ඝෝෂාව සමගින්ය.

    “ආශ්චාර්යෙ.. ආශ්චර්යෙ… උන්නාන්සෙගෙ මූන බලාගන්න වරෙල්ලා…..” කොල්ලො කුරුට්ටො පමණක් නොව වැඩිහිටි මහළු සියල්ලෝද වැල නොකැඩී ඇල්ල දෙසට දිව යනු දුටු අමරබන්දුහටද උන් හිටි තැන් අමතක වී ඉබේටම වාගේ එළිපත්තට පැනගත්තේය.

    “මාමෙ අන්නෝ… රාවනා රජ්ජුරුවංගෙ මූන ඇල්ලෙං මතුවෙලාලු” අමරබන්දු විමසන්නටත් ප්‍රථම ඔහු අසලින් දිව ගිය හිච්චි එකෙක්කියාගෙන දිව ගියේය.

    “අම්මප කියහං” කියාගත් අමරබන්දුද ඇල්ල දෙසට දිව යන්නට වූයේය.

    ඇල්ල ළග එකම විජ්ජුම්බරයකි. මාධ්‍ය මහත්තුරු කැමරා අටෝගෙන ඇල්ල දෙස බලා සිටිති. මනාලියකගේ ශ්වේතවර්ණ සාරිය මෙන් පහතට ඇද හැලෙන මහා ජල කද දෙස නොබලන ගම්මු පදාසයක් බිද වැටුනු ගල් බදේ රාවනා රජුගේ මුහුන අදිමින් සිටිනු දුටු අමරබන්දු හට ඇති වූයේ කේන්තියකි.

    ගමේ රටේ උන් රාවනා රජුගේ මුහුන සොයන අල්ල පනල්ලේ අමරබන්දුගේ අල්ලක් විතර වූ උණ්ඩි අත්පසුර නාද වන්නට වූයෙන් ඔහු දුරකථනය ඉණෙන් ගෙන බැලුවේය.

    “ශ්‍රීමත් බ්‍රැන්සන්” හප්පට සිරි ඔහුට ඉබේටම කියැවුනි.

    “හලෝ.. බ්‍රැන්සන් සර් කොහොමද…” අමරබන්දු විමසීය

    “හලේ මිස්ටර් අමරබන්දු… ඔයාට මාව පේනවද?” ශ්‍රීමත් බ්‍රැන්සන් විමසීය

    “නැහැනෙ සර්.. කොහේ” ඔහු වටපිට බැලීය.

    “මෙහෙ පොඩ්ඩක් අහස දිහා බලන්න අමරෙ” බැන්සන් අනෙත් අන්තයෙන් කීවේය.

    ඒ අනුව ඔහු එක්වර අහස දෙස බැලීය. වර්ජින් යැයි සුවිසලට ලියා ඇති සුවිසල් ගුවන් යානයක් ඈත අහසේ ලෙල දෙමින් තිබුණි.

    “ඔව් සර් මට සර්ගෙ ප්ලේන් එක පේනවා” අමරබන්දු පෙරළා පැවසීය.

    “නෝ..නෝ…දිස් ඊස් මයි ස්පේස් ෂිප්.. ස්පේස් ටුවරිස්ම් වලටම හැදුවෙ.. ෆර්ස්ට් ට්යිම් ඉන් ද හියුමන් හිස්ට්‍රි”

    “අයි කැන් සී යූ ෆ්‍රොම් ද ස්පේස්… මොකද අමරෙ ඔතන සෙනග පිරිලා.. ඔයගොල්ලොත් අලුත් ඉන්වෙන්ෂන් එකක් කළාද?” ශ්‍රීමත් බ්‍රැන්සන් ඇසීය. ඉන් අමරබන්දුගේ සිතට ඇතිවූ‍යේ ඔහුගේ ප්‍රෞඩ ජාතිය පිළිබදව මහත් ලැජ්ජාවකි.

    “මොන පිස්සුද සර්… මුං මේ ඉතිහාස පොතකවත් නැති රජෙක්ගෙ මූනක් ඇල්ලෙන් මතුවෙන කල් බලං ඉන්නවා..මුන්ට පිස්සුනේ..” කියමින් හෙතෙම එක්වරම ද්‍රකථනය විසන්ධි කළේ සිරිමත් බ්‍රැන්සන්ට තවත් ප්‍රශ්න ඇසීමට නොහැකිවන ලෙසටය.

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    ඔබේ අදහස් දක්වන්න.