තවත්

    ජපුර වෛද්‍ය පීඨය හොයන්නේ ඔබේ පාසලද?

    0

    ”ඔබගේ පාසල ගැන අපට කියන්න-එය ගොඩනැගුමට අප සූදානම්”

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨය මඟින් සංවිධානය කරනු ලබන දිරිය අරුණ සමාජ සත්කාර වැඩසටහනේ 27වන අදියර යටතේ කොළඹ,ගම්පහ,කළුතර,කුරුණෑගල,පුත්තලම,ගාල්ල,රත්නපුර යන දිස්ත්‍රික්කවල අඩු පහසුකම් සහිත පාසලක් තෝරාගෙන අවශ්‍ය පහසුකම් සහිතව නව ගොඩනැඟිල්ලක් ඉදිකර දීමට හෝ පවතින ගොඩනැඟිල්ලක් ප්‍රතිසංස්කරණය කර දීමට කටයුතු සූදානම් කර ඇත.

    ඒ සඳහා ඔබ දන්නා පාසලක් වේ නම් අද හෙටම
    දිරිය අරුණ සංවිධායක කමිටුව,පීඨාධිපති කාර්‍යාලය,වෛද්‍ය විද්‍යා පීඨය,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,ගංගොඩවිල,නුගේගොඩ
    යන ලිපිනයට අදාළ කරුණු සහිතව අයදුම්පතක් යොමු කරන්නැයි දිරිය අරුණ සංවිධායකයෝ පවසති.

    අවශ්‍ය තොරතුරු 0712231200(විහඟ) හා 0789575029(ඉමාෂා) ඇමතීමෙන් ලබා ගත හැක.

    https://www.facebook.com/share/p/1BW2xJ6o2m/

    -වෛද්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය-
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    #DiriyaAruna27
    #CommunityUpliftment
    #TransformingFutures

    අල්ලස් කොමිසමට රනිල්ගෙන් පැය 3ක ප්‍රකාශයක්

    0

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද(28) පැය 3ක ප්‍රකාශයක් ලබා දී තිබේ.

    චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පතු ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබේ.

    අද උදෑසන 09.15ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යාන 12.25ට පමණ ඉන් පිටව ගියේය.

    අත්තනගල්ලේ පුටුව අපේක්ෂකයන්ට එරෙහිව චන්ද්‍රිකාගෙන් මැකොට පැමිණිලි

    0

    පුටුව ලකුණින් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට තරග කරන පොදුජන එක්සත් පෙරමුණ ඇතැම් අපේක්ෂකයින් සිය නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිතා කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතව සිටින බව සදහන් කරමින් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් යොමුකර තිබේ.

    හිටපු ජනපතිනිය එම පැමිණිල්ලෙන් අවධාරණයකර ඇත්තේ ඇතැම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා සිය ඡායාරූපය සහිතව ලසන්ත අලගියවන්න සහ සරණ ගුණවර්ධන යන අයගේ ද ඡායාරූප ඇතිව අත්පත්‍රිකාවක් ගෙයින් ගෙට බෙදමින් සිටින බව සහ පෝස්ටර් අලවා ඇති බව දැනගන්නට ලැබුණු බවය.

    මෙවැනි අත්පත්‍රිකා සහ පෝස්ටර් සඳහා සිය ඡායාරූපය යොදා බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවද ඇය එහි සඳහන් කර තිබේ.

    තමාගේ නම හෝ ඡායාරූපය කිසිදු ශ්‍රව්‍ය දාෂ්‍ය ප්‍රචාරණ කටයුත්තකට භාවිතා නොකරන ලෙසට පැහැදිලිවම පුටුව ලකුණින් අත්තනගල්ල සහ අනෙකුත් ප්‍රදේශවල තරග කරන අපේක්ෂකයින්ට සහ සංවිධායකයින්ට තරයේ දැනුම් දී ඇතැයිද ඇය එම ලිපියෙහි සඳහන් කර ඇත.

    එසේ තිබියදීත් අනවසරයෙන් තමාගේ නම සහ ඡායාරූපය භාවිතා කරමින් එම අපේක්ෂකයන්ට තමා සහය දෙන බව ප්‍රකාශ කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන හිටපු ජනපතිනිය එම කටයුත්ත වහාම නතර කරන ලෙස කඩිනමින් පොදුජන එක්සත් පෙරමුණේ අදාල ප්‍රධානින්ට දැනුම් දෙන ලෙස මෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් වරයාගෙන් ඉල්ලා තිබේ.

    දේශබන්දුගේ අනිසි වැඩ සොයන කමිටුවේ සහයට CID සිව් දෙනෙක්

    0

    පොලිස්පතිදේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ත්‍රීපුද්ගල පරීක්ෂණ කමිටුවට සහය වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත සහකාර පොලිස් අධිකාරීවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් සිව් දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අනුයුක්ත කර ඇත.

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් කෙරන විමර්ශන සඳහා අවශ්‍ය සාක්ෂි කරුවන් කමිටුව හමුවට කැදවා දීම, ඇතුළු විශාල වැඩ කොටසක් මෙම නිලධාරීන් කණ්ඩායමට පැවරෙන පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතය.

    ගාලු කොටුවෙන් මුහුදුට වැටුණු සරසවි සිසුවා මිය යයි

    0

    සිය මිතුරන් පිරිසක් සමඟ ගාල්ලේ සංචාරයක් සඳහා පැමිණි කොතලාවල සරසවියේ අධ්‍යාපනය ලබන සිසුවෙක් ගාලු කොටුවෙන් මහ මුහුදට වැටී ඊයේ (26) මියගොස් ඇත.

    ගාලු කොටුවේ සිට මුහුදට පනිමින් ත්‍රාස ජනක ක්‍රීඩාවේ යෙදන ස්ථානයේදී මෙම සිසුවා මුහුදට වැටී ඇතැයි ගාල්ල පොලිසිය සඳහන් කරයි.

    මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුරුදු 21ක් වයසැති ජනිත් චන්දුල ගමගේ සිසුවාය. ඔහු හපුගල කුරුඳුවත්තේ පදිංචිකරුවෙකි.

    මුහුදට වැටුණු මෙම සිසුවා වහාම ගොඩ ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් සිසුවා මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවත් පොලිසිය සඳහන් කළේය.

    බිලියන 10 ක හෙරොයින් ටොන් භාගයක් හෙට ගිනි ර කුසාට

    0

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මහ මුහුදේ කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වී ඇති බිලියන 10ක් පමණ වටිනාකමක් ඇති හෙරොයින් ටොන් භාගයකට ආසන්න ප්‍රමාණයක් හෙට (28) විනාශ කිරීමට නියමිතය.

    පුත්තලම පාලවියේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් අධි පීඩන උඳුනට දමා මෙම මත්කුඩු තොගය විනාශ කිරීමට නියමිතව තිබේ.

    මෙසේ විනාශ කරනු ලබන්නේ 2021 වසරේ දෙසැම්බර් 15 වෙනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව කළ වැටලීමකදී මහ මුහුදේදී විදේශීය ජාතිකයන් 06 දෙනෙන් සමඟ අත්අඩංගුවටගත් හෙ‍රොයින් කිලෝ 250යි ග්‍රෑම් 996ක්, 2022 වසරේ අප්‍රේල් 19 වෙනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව මහා මුහුදේදී කළ වැටලීමකදී විදේශිකයන් 07 දෙනෙක් සමඟ අත්අඩංගුවටගත් හෙ‍රොයින් කිලෝ 243යි ග්‍රෑම් 052 ප්‍රමාණය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.

    නඩු කටයුතු අවසන්ව ඇති එම මත්කුඩු තොගය හෙට උදෑසන7.00ට පමණ කොළඹ මහාධිකරණයෙන් භාරගෙන විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ දහන උදුන වෙත රැගෙන යාමට නියමිතය.

    බන්ධනාගාර නියාමකගෙන් මත්කුඩු ජාවාරම්කරු ට බෝතල් පාටියක් – මත්පැන් විෂවී මත්කුඩු ජාවාර ම්කරු මිය ගිහින්

    0

    මහර බන්ධනාගාරයේ සේවයේ නිරත නියාමකවරයෙකුගේ මුල්ලේරියාවේ පිහිටි නිවසේ පැවති මත්පැන් සාදයකට සහභාගි වූ ඔහුගේ මිතුරෙක් වන මත්කුඩු ජාවාරම්කරුවෙක් මත්පැන් විෂ වීමකින් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.

    මියගොස් සිටින එම මත්කුඩු ජාවාරම්කරු හෙරොයින් කිලෝ 52ක් සහ ටී 56 ගිනි අවි 03ක් සමඟ පොලිසියට හසුවී දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව මෑත කාලයේදී ඇප මත නිදහස්ව ලබා සිටියෙක් වන මොහොමඩ් සුබෙයිර් නොහොත් සුමේධ නැමැති පුද්ගලයාය. ඔහු වැල්ලම්පිටිය වෙන්නවත්තේ පදිංචිකරුවෙකි.

    බන්ධනාගාර නියාමකට අමතරව සාදයට සහභාගිවී සිටි තවක් අයෙක් ද මත්පැන් විෂවීමෙන් අසාධ්‍යව මුල්ලේරියාව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි. එම පුද්ගලයා ද වෙන්නවත්තේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

    මෙම මත්පැන් සාදය සංවිධානය කර ඇත්තේ පසුගිය 25 වෙනිදා රාත්‍රී කාලයේදීය. බන්ධනාගාර නියාමක මෙම සාදය සංවිධානයකර ඇති බව විමර්ශන වලින් පෙනී යන බව පොලිසිය සඳහන් කරයි. සාදය නිමාවීමෙන් අනතුරුව තිදෙනා නින්දට ගොස් ඇත. ඔවුන් රෝගී තත්ත්වයට පත්ව ඇත්තේ 26 වෙනිදා අළුයම් කාලයේදීය. එහිදී තිදෙනාම මුල්ලේරියාව රෝහලට ඇතුලත් කිරීමට නිවැසියන් පියවර ගෙන ඇත. ඔවුන් අතර සිටි සුමේධ නැමැති අය රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

    උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි

    0

    2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් අද(26) නිකුත් කළේය.

    ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි ය.

    2024 උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වුණි.

    විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත්ය.

    ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588ක් සුදුසුකම් ලබා තිබේ.

    ඊට පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

    ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588ක් සුදුසුකම් ලබා තිබේ.

    ඊට පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

    දළදා වන්දනාව හෙටින් අවසන්

    0

    දළදා වන්දනාව කලින් නියම කරගත් පරිදි හෙට (27) දින අවසන් වේ.

    දළදා වන්දනාව සඳහා අපේක්ෂා කළ බැතිමතුන්ගේ ප්‍රමාණයට වැඩි සංඛ්‍යාවක් දෛනිකව පැමිණෙන බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පසුගිය 24 වැනිදා පැමිණ මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදැක, දියවඩන නිලමේතුමා ද හමුවී සාකච්ඡා පවත්වා තිබිණි.

    දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය මෙන්ම පොලිසිය,හමුදාව,නගර සභාව,මධ්‍යම පළාත් සභාව, අම්පිටිය කටුගස්තොට ඇතුලු මහනුවර ජනතාව මේ කාර්යට විශාල දායකත්වයක් සැපයූ බව නිලංග දෑල මහතා පවසයි.

    බංග්ලාදේශයේ දී පැහැරගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරික යුවල අද මෙරටට

    0

    බංගලාදේශයේ ඩාකා නගරයේදී කප්පම්කරුවන් විසින් පැහැරගත් ප්‍රවීණ ව්‍යාපාරික ආනන්ද පතිරණ සහ ඔහුගේ බිරිඳ ප්‍රින්සි පතිරණ ඇතුළු ශ්‍රී ලාංකිකයන් තිදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් පසු අද(25) මෙරටට බාර දීමට නියමිතව ඇත.

    මෙම ශ්‍රී ලාංකිකයින් බංග්ලාදේශයට ගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් 22 වැනිදාය. ඒ බාගර්හැට් හි ශාහිදුල් ශෙයික් නම් ව්‍යාපාරිකයෙකුගේ ආරාධනයක් මතය. හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ මොවුන් පැහැරගෙන ගිය අතර ඔවුන්ගේ පවුල්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 20ක කප්පම් මුදලක් ඉල්ලා තිබුණි.

    ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් එය වාර්තා කිරීමෙන් අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහතා බංග්ලාදේශ බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණි.

    ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය, සහ විදේශ අමාත්‍යාංශයේ සුනිල් සිල්වා මහතා, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ඒ සඳහා ඒකාබද්ධව කටයුතු කළහ.

    අප්‍රේල් 24 වැනිදා අළුයම 12.15ට පමණ බාගර්හැට් දිස්ත්‍රික්කයේ මොල්ලාට් උපසේලාවේ කොඩාලියා ප්‍රදේශයේදී මෙහෙයුම ආරම්භ කරන ලද අතර, සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිතව මුදා ගැනීමට හැකි වී තිබේ. කාසි එම්දාද් හොසේන්, ශාහිදුල් ශෙයික්, ජොනි ශෙයික් සහ එස්.එම්. ශම්සුල් ආලාම් යන සැකකරුවන් හතර දෙනා ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් කප්පම් ඉල්ලා ඇමතුම් දී ඇත්තේ බංග්ලාදේශ දුරකථන අංකයකිනි.

    දෙරට බලධාරීන්ගේ කඩිනම් සහ සහයෝගී ක්‍රියාමාර්ගවලින් මෙම ශ‍්‍රී ලාංකිකයින් මුදා ගෙන ඇත. මොවුන් අද මෙරටට බාර දීමට නියමිතව තෙබේ.

    භික්ෂු වෙසින් දළදා වදින්න ආ 17 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

    0

    දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් භික්ෂු වෙසින් පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවෙක් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පොලිසිය ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.

    කිරිදිවැල දංගහදෙණියේ පදිංචි මෙම සිසුවා කිරිදිවැල වේරහැර පිහිටි පාසලක 12වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අයෙකි.

    ඡන්ද කාඩ් 80ක් සමග සර්වජනේ අපේක්ෂිකාව කොටුවෙයි

    0

    පුත්තලම පොලිස් වසමේ රත්මල්යාය ප්‍රදේශයේදී, පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය විසින් ඊයේ රාත්‍රී කාලයේ සිදුකරන ලද වැටලීමකදී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් බාර නිලධාරි විසින් නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් අසූ පහක් සන්තකයේ තබාගෙන සිටි අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන ඇත.

    වදින සුභසිංහ ආරච්චිලාගේ චාමලී චන්ද්‍රකාන්ති නැමැති ඇය සර්ව ජන බලය පක්ෂයේ පුත්තලම මහ නගර සභාවට තරග කරන අපේක්ෂිකාවක් බව පොලිසිය සඳහන් කරයි.

    තැපැල්කරු විසින් ඡන්ද කාඩ් පත් ඊයේ දින උදෑසන හෝ දහවල් කාලයේදී මේ තැනැත්තියට ලබාදී ඇති බවට විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

    තැපැල්කරු අතුරුදහන්ව සිටින අතර අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.

    නිකරුනේ හෙල්මට් දාගෙන පාරේ ගියොත් වෙන දේ

    0

    යතුරුපැදියක ගමන් කිරීමකින් තොරව ආරක්ෂිත හිස්වැසුම් පැළද සැරිසරණ සැකසහිත පුද්ගලයින් පරීක්ෂා කරන ලෙස පොලිස් මූලස්ථානය දිවයිනේ සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සඳහා සම්බන්ධවූ සැකකරුවන් හිස සහ මුහුණ ආවරණය වන පරිදි හිස් යතුරුපැදි ආරක්ෂිත හිස් වැසුම් පැළද සිට ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

    යතුරුපැදිවල ගමන් කිරීමේදී භාවිතා කරන ආරක්ෂිත හිස්වැසුමක් පැළද සිටීම අවශ්‍ය වනුයේ යතුරු පැදියක ගමන් කරන අවස්ථාවේදී පැදිකරුගේ සහ පසුපැදිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. එබැවින් යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයන් නිරීක්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු භාහිරාදිය පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරනු ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    දේශීය සම්ප්‍රදායට මුල්තැන දෙමින් හම්බන් තොට නැව් තොටේ අලුත් අවුරුදු උත්සවයක්

    0

    ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සම්ප්‍රදායන්ට හා සංස්කෘතියට මුල්තැන දෙමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සිය වාර්ෂික ‘නැව්තොටේ අලුත් අවුරුදු උත්සවය’ පවත්වා තිබේ.

    සත් වසරක සාර්ථක මෙහෙයුම් සනිටුහන් කරමින් උත්සවාකාරයෙන් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා දෙස්, විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටි අතර වරාය පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට කොට්ටා පොර, බනිස් කෑම ඇතුළු සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් ඇතුළත් විය. කාර්ය මණ්ඩලය විසින් අවුරුදු කුමරා සහ කුමරිය තෝරා ගැනීම සිදුවූයේ විනෝදාත්මක අත්දැකීමක් සියලු දෙනා වෙත උරුමකර දෙමිනි.

    උදෑසන 9 සිට ආරම්භ වූ අවුරුදු උත්සවය සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයින් 150කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර වරායේ අත්‍යවශ්‍ය මෙහෙයුම් නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අදාල කණ්ඩායම් කැපවී කටයුතු කර ඇත.

    සාම්ප්‍රදායික උදෑසන ආහාරය සමඟින් ආරම්භ වූ උත්සවය වරාය සාමාජිකයින්ගේ එකමුතුකම හා හැකියාව මනාව පිළිබිඹු කර තිබෙන අතර දෙස්, විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයින් සියලු දෙනා සාම්ප්‍රදායික දේශීය ඇඳුමෙන් සැරසී සිටීම විශේෂත්වයක් විය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා “හම්බන්තොට ජාත්‍යන්තර වරාය නව විශ්වාසයකින් හා අධිෂ්ඨානයකින් යුතුව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම අලුත් අවුරුද්ද සැමරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ගෝලීය සැපයුම් අංශය තුළ ක්‍රමයෙන් ඇතිවන වෙනස්කම්වලට අනුකූලව නව අභියෝග වැළඳ ගනිමින්, තවදුරටත් ව්‍යාප්ත වීමට අප සූදානම්. ඉදිරි වසරේ දී, වරාය සේවා තවදුරටත් වැඩිදියුණු කර නව ආයෝජන හඳුන්වා දීමට අප පියවර ගෙන තිබෙනවා” යැයි පැවසීය.

    දකුණු පළාතේ පිහිටා ඇති බහුකාර්ය වරාය ලෙස පරිපූර්ණ සේවාවන් සැපයීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු ප්‍රධාන හවුල්කරුවන් සමඟ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉතා සමීපව කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ලෝක බැංකුවේ ලංකා ශාඛාවේ ආර්ථික විද්‍යාඥයාගේ නිවසේ ලොකු සොරකමක්

    0

    ලෝක බැංකුවේ ලංකා ශාඛාවේ ආර්ථික විද්‍යාඥ තෝමස් ඩැනියෙල් ලෙව්ට්ස් මහතා පදිංචිව සිටින අකුරේගොඩ පිහිටි නිවසේ සිදුව ඇති රුපියල් ලක්ෂ 32කට ආසන්න වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ සොරාගැනීමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම ආර්ථික විද්‍යාඥයා ඩෙන්මාර්ක් ජාතිකයෙක් බව තලංගම පොලිසිය සඳහන් කළේය.

    මෙම සොරකම ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ (23)ය.

    සොරකම සිදුව ඇතැයි පැවසෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් 03 වෙනිදාත් මෙම වසරේ අප්‍රේල් 12 වෙනිදාත් අතර බව පැමිණිල්ලෙන් කියැවෙන බව පොලිසිය සඳහන් කරයි.

    නිවසේ මෙහෙකාරිය විසින් මෙම මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ඇති බව නිවැසියන් සැකකරයි.

    සේප්පුවේ තිබූ රුපියල් 97,000ක ශ්‍රී ලංකා මුදල්, අමෙරිකානු ඩොලර් 6000ක් රන් මාල 02ක්, පෙන්ඩන් 03ක් සහ මුදු 03ක් සොරාගෙන ඇති බව පොලිසියට ලැබී ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.

    තීරුබදු ගැටළුව අමෙරිකාව සමඟ පැවති සාකච්ඡා සාර්ථකයි-ජනපතිගෙන් ප්‍රකාශයක්

    0

    අමෙරිකා එක්සත් ජනපද පැනවූ තීරු බදු හේතුවෙන් ඇතිවූ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට එරටට ගොස් සිටින මෙරට නියෝජිතයින් හා අමෙරිකානු නියෝජිතයින් අතර පැවැත්වූ සාකච්ඡා ඉතා ප්‍රතිඵල දායක බව මෙරට නියෝජිත පිරිස දන්වා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ඉදිරියේදී කණ්ඩායම් දෙකම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කල රත්නපුර ජනරැළිය අමතමින්
    ජනාධිපතිවරයා අද (23) ඒ් බව කීවේය.

    හෙට දවසේ දළදා වදින්න ලක්ෂ 04ක් දැන්ම ඉදන් පෝලිමේ

    0

    සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 04කට අධික බැතිමතුන් පිරිසක් පෝලිම්වල අද (23) සවස් වන විට ඒ්කරාශ්‍රී වී සිටින බැවින් දළදා වහන්සේ වැද පුදා ගැනීමට නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වලකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    සුදු සැරයටි රැගන් සිය ගානක්ද ශල්‍යකර්මයන්ට ලක්කර අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ද දළදා වහන්සේ වන්දනා කරන්නට පැමිණ ඇති බවත් මෙවැනි අය දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණිම ප්‍රායෝගික නොවන බව ද පොලිසිය සඳහන් කරයි.

    මේ වන විට ලක්ෂ 04ක් පෝලිම්වල රැදී සිටින බැවින් ඒ් අය පාලනය කිරීමට යුද හමුදාවේ අමතර භට කණ්ඩායම් පවා කැදවා ඇති බව පොලිසිය සදහන් කරයි. දිනකට දළදා වන්දනා කිරීමට අවස්ථාව ඇත්තේ 85,000ත් 95,000ත් අතර පිරිසක් බවද පොලිසිය සඳහන් කළේය.

    පාස්කු කොමිෂමේ පොලිසියට ලැබුණු වෙළුම් 05 අධ්‍යනයට පංච පුද්ගල කමිටුවක්

    0

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව අධ්‍යනය කර එම වාර්තාවෙන් අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් ආරම්භකර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අසංක කරවිට මහතාගේ සභාපතීත්වයෙන් යුත් පස් පුද්ගල කමිටුවක් වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත්කර තිබේ.

    එම පස් පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉමේෂා මුතුමාල, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ එච්.ඩී.කේ.එස්. පෙරේරා යන මහත්ම මහත්මීන්ය.

    වෙලුම් 05කින් යුක්ත මෙම වාර්තාවේ පිටු හැටහයදහස් තුන්සියකට ව (66,300) වැඩි ප්‍රමාණයක් ඇති බවත් ඊයේ (22) දිනයේම මෙම වාර්තාව අධ්‍යනය කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් මෙම කමිටුවේ උසස් පොලිස් නිලධාරියෙක් “නිවුස්වේව් වෙත පැවසීය.

    ප්‍රධාන කමිටුවට අමතරව අනු කමිටු 06ක්ද ක්‍රියාත්මක බවත් ඒ එක් අනුකමිටුවක නිලධාරීණ් 08 දෙනෙක් පමණ සිටින බවත් ඔහු පැවසීය. ජනපති කොමිෂන් සභා වාර්තාවේ එක් එක් පරිච්ජේද මෙම නිලධාරීන් විසින් අධ්‍යනය කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය. මෙතරම් පිටු ප්‍රමාණයක් අධ්‍යනය කිරීම වෙහෙසකර කටයුත්තක් වූවත් දිවා රෑ නොබලා එම වාර්තාව අධ්‍යනයකර මෙතෙක් කර ඇති විමර්ශන වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය කර ගැනීමට නොහැකි වූ යම් තොරතුරක් වෙතොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා කඩිනමින් නෛතික පියවර ගැනීමට පියවර ගන්නා බවද එම නිලධාරියා සඳහන් කළේය.

    මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින බවත් ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22) සඳහන් කළේය.

    පාස්කු ඉරුදින ප්‍රහාරයේ විසදීමට ඇති ප්‍රශ්ණ දෙකකට විසදුම් ලැබී ඇතැයි ජනපති පවසයි

    0

    මේ වන විට පාස්කු ප්‍රහාරයේ විමර්ශණ වල ප්‍රතිඵල තිබෙන බවත් සොයා ගත යුතු කරුණු හයකින් දෙකක් මේ වන විට සොයාගෙන ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ(22) ගම්පහ පැවැති ජන රැළියක් අමතමිණි. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් මෙය සංවිධානය කර තිබිණ.

    පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් වුවාට පහ හමාරම විමර්ශණ යටපත් කළ බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහි කටයුතු පසුගිය මාස 06තුළ ආරම්භ වූ බවත් මීට පෙර ප්‍රකාශ කළ අන්දමට කරුණු 06කින් දෙකක් පිළිබඳව කරුණු නිරාකරණය කරගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා කීය.

    වව්නතිව් ප්‍රදේශයට ගොස් ජැකට් එක දැම්මේ කවුද?මෙන්ම එෆ් බී,අයි. ආයතනය විසින් දුන් ඉමි අංකයක් ඔස්සේ ඊට අවශ්‍ය දුරකතනය පිළිබඳ තොරතුරුත් සොයා ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    ඩෑන් ප්‍රියසාද් ඝාතනය කංජිපානිගේ වැඩක් දැයි සැක

    0
    Clockwise starting at topleft: Glock G22, Glock G21, Kimber Custom Raptor, Dan Wesson Commander, Smith & Wesson Air Weight .357, Ruger Blackhawk .357, Ruger SP101, Sig Sauer P220 Combat.

    දේශපාලන හා සිවිල් සංවිධාන කිහිපයකම ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති සමාජ ක්‍රියාකාරීකයෙක් ලෙස පෙනී සිටි ඩෑන් ප්‍රියසාද් මහතාට ඊයේ ((22) රාත්‍රී කාලයේදී වෙඩි තබා ඝාතනයකර තිබේ.

    කොලොන්නාව ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ හය වෙනි මහලේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මහල් නිවස සංකීර්ණයට පැමිණ හය වෙනි මහලේ රැදී සිටි ඩ්‍රෑන් ප්‍රියසාද් මහතාට වෙඩි තබා ඇත්තේ මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකිනි.

    මෙහිදී වෙඩි පහර 04ක් ඔහුට වැදී ඇති බවත් තවත් වෙඩිල්ලක් තට්ටු නිවාස සංකීර්ණයේ රැදී සිටි අයෙකුටද වැදී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    වෙඩික්කරු සහ ඔහු සමග පැමිණි පුද්ගලයා නිරුපද්‍රිතව පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

    වෙඩි වැදුණු ඩ්‍රෑන් ප්‍රියසාද් සහ අනෙත් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට මහල් නිවාස වැසියන් පියවර ගෙන ඇත. රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

    අරගලකරුවන්ට පහරදීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්ද ඩෑන් ප්‍රියසාද්ට ඒරෙහිව අධිකරණයේ නඩු කටයුතු පැවතුනි. ඩෑන්ගේ සහෝදරයාවද 2022 වසරේ ජුනි 25 වෙනිදා ඔරුගොඩවත්තේදී කපා කොටා ඝාතනයකර තිබිණි.

    මෙම ඝාතනය විදේශයක රැදී සිටින පාතාලයේ ප්‍රබලයකුවන කංජිපානි ඉම්රාන්ගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවට සැකයක් බුද්ධි අංශ නිලධාරීන් වෙත මතුව තිබේ.

    ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් කංජිපානිගේ බව කියන හඬ පටයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වේ.

    කෙහෙළියට එරෙහි නඩුවට ත්‍රීපුද්ගල මහාධික රණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

    0

    ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පවත්වන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

    ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි සැකපිට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව මෙම නඩුව පැවරීමට නියමිතය.

    එය විශේෂ නඩුකරයක් සේ සලකා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා සිය ලිපිය මගින් අගවිනිසුරුවරිය ගෙන් ඉල්ලා තිබේ.

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

    0

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා (21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේය.

    කැසා සැන්ටා මාටර්හි පාප්වහන්සේ නිවහනේදී පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ අතර උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 88 වියේ පසුවිය.

    2013 වසරේ දී ශාන්ත XVI බෙනඩික්ට් පාප්වහන්සේගෙන් පසුව ආර්ජන්ටිනාවේ උපන් ෆ්‍රැන්සිස් කාදිනල්තුමා, රෝමන් කතෝලික සභාවේ 266වැනි පාප්වහන්සේ ලෙස පත්විය.

    කාදිනල් කැවින් ෆැරල් පවසා තිබුණේ, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද උදෑසන 7.35ට ස්වර්ගස්ථ වූ බවයි.

    ලෝකය පුරා සැලකිය යුතු ලෙස කතෝලිකයන් පිරිසක් ආසන්න වශයෙන් මිලියන 1,400ක් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ මරණය පිළිබද ශෝකයට පත් වන අතර, නව පාප්වහන්සේ තෝරා ගැනීමේ වාරය ලබන දින 15-20 අතරදී ආරම්භ වීමට නියමිතය.

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

    0

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් එම්.ඒ.ඩී. දීඝායු මහතා විසින් වැඩ බලන පොලිස්පති නීතිවේදී ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමුකර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම ලිපිය මෙසේය.

    “මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ නිශ්ශංක සේනාධිපති නැමැත්තා සම්බන්ධ කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු නිරීක්ෂණය විය. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් තම අමාත්‍යාංශයේදී නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයට එකී ප්‍රවෘත්තීන් නිර්මාණය කර ඇත.

    එහෙත් එකී ප්‍රවෘත්තීන් ව්‍යාජ ප්‍රවෘත්තීන් වන අතර කිසිඳු අවස්ථාවක ආනන්ද විජේපාල මහතා හෝ ඔහුගේ නියෝජිතයෙකු නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුණ ගැසී නොමැත. එහෙත් මෙලෙස දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීම හරහා අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේත් වත්මන් රජයේත් නීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුඳු වීමක් සිදුවන බව නිරීක්ෂණය වේ. එමෙන්ම දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගත වීම හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන අතර චේතනාන්විත ලෙස සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම හරහා සමාජයට අගතිදායී ප්‍රතිඵල ඇති කරන්නක්ය යන්න අපගේ හැඟීමයි.

    ඒ අනුව එලෙස පළ කරන ලද ව්‍යාජ ප්‍රවෘත්තීන්වල පිටපත් කිහිපයක් මේ සමඟ අමුණා ඉදිරිපත් කරන අතර මෙකී ව්‍යාජ ප්‍රවෘත්තීන් පිළිබඳව නිසි පරිදි පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටිමු.“

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේගේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    0

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භකර ඇත.

    “සිරි දළදා වන්දනාව“ සඳහා පැමිණි පුද්ගලයකු විසින් ලබාගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපනය වන එම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

    “සිරි දළදා වන්දනාව “ සඳහා සහභාගිවන බැතිමතුන්ට තම ජංගම දුරකථන ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේගේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. එසේ තිබියදී මෙම සංසරණය වන ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදී ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ගන්නා ලද ඡායාරූපයක්ද නැතිනම් සංස්කරණය කරන ලද ඡායාරූපයක්ද යන්න අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කරයි.

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    0

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තබා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර ඉවත්ව සිටින කුළී ඝාතකයින් දෙදෙනෙක් යොදවා ඇත්තේ කෙහෙල්බද්දර පත්මේ විසින් බවට තොරතුරු හෙළිවී තිබේ.

    මෙම ඝාතන තැන ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ඝාතනය කිරීමට සූදානමින් සිටි පාතාලයේ කූලී ඝාතකයින් දෙදෙනෙක් ඇතුළු 06 දෙනෙක් ටී 56 අවි දෙකක් සමඟ ගම්පහ වතුමුල්ලේ පිහිටි නිවසක රැදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් කළ මෙහෙයුමකදී ඊයේ (19) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගැනීමත් සමගිනි.

    අලුත් අවුරුදු උත්සවයෙන් පසු රාත්‍රී කාලයේ පැවැත්වෙන තෑගි බෙදා දීමේ උත්සවයට සහභාගිවී සංගීත සංදර්ශනය ආරම්භක අවස්ථාවටද ඔස්මන් ගුණසේකර ආරාධිතයෙක් ලෙස සහභාගිවීමට නියමිතව තිබී ඇත. එහිදී ඔහුව ඝාතනය කිරීම සැළසුම වී තිබී ඇතැයි හෙළිවී තිබේ. .

    වතුමුල්ලේ නිවසේ සැගවී සිටියදී අත්අඩංගුවටගත් සැකකරුවන් 06 දෙනාගෙන් සිව් දෙනෙක්ම යුද හමුදාවේ සිටි සෙබලු බවත් කුළී ඝාතකයන් ලෙස ඔස්මන් ගුණසේකර ඝාතනයට සූදානමින් සිට ඇත්තේ ඒ අය අතර සිටින කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබලු දෙදෙනෙක් බවත් සඳහන්ය.

    ඔස්මන් ඝාතනයට සූදානම්කර තිබුණු ටී 56 අවි 02ක් , එම අවිවලට යොදන පතොරම් 118ක් , ටී 56 පතොරම් බහලන කොපු 03ක් සහ ප්‍රහාරයට ගමන් කිරීමට සූදානම්කර තිබුණු වෑන් රථයක්, මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ද විශේෂ කාර්ය බලකාය සොයාගෙන ඇත. අවි ආයුධ හා පතොරම් එහා මෙහා ගෙන යාමට පොලිසියට සම්බන්ධ අයෙකුගේ නමක් කියැවෙන බැවින් ඒ ගැනද විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    ඔස්මන් ඝාතන සැළසුමද දියත්කර ඇත්තේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ ගණේමුල්ලේ සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම මෙහෙයැවූ කල්ලියම වීම විශේෂිතය.

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත්අඩංගුවට

    0

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන තිබුණු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ මාර්තු 03 වෙනිදා සිට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

    නීති විරෝධි මැතිවරණ කටයුතු සඳහා යොදාගත් වාහන 17ක් ද මේ කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

    මැතිවරණයට අදාලව අපරාධමය පැමිණිලි 45ක්ද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි 166ක් ද මේ කාලය තුළ පොලිසියට ලැබී ඇත.

    අද (20) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ මැතිවරණයට අදාල අපරාධමය පැමිණිලි වාර්තා වී ඇත්තේ 01ක් පමණි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 12ක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කළේය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපේක්ෂකයෙක් සහ ආධාරකරුවන් දෙදෙනෙක් මේ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත.

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    0

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

    ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිවරයාගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක් ඔස්සේ දියත් කෙරිණි.

    ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර හයක් ගත වන අවස්ථාවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී ඇත.

    එසේම, මෙම අපරාධය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දී තිබේ.

    ජනාධිපතිවරණයේ මුදල් වංචාවට අඹගස්දෝව පොලිසියේ ස්ථානාධිපති සහ මැතිවරණ ස්ථානාධිපතිනිය දැලේ

    0

    ජනාධිපතිවරණ සමයේදී පෝස්ටර් සහ කවුට් ඉවත්කිරීමට කම්කරුවන් යොදා ගත් බව ව්‍යාජ ගොනු සකස්කර රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර රත්නායක සහ එවක අඹගස්දෝව පොලිස් ස්ථානයේ පාලන හා මැතිවරණ අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂිකා ඩී.ජයචිත්‍රා යන නිලධාරීන් දෙදෙනා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගන්නා ලදි.

    පසුගිය වසරේ සැප්තැම්බර් 21 වෙනිදා පවත්වන ලද ජනාධිපතිවරණය අදාලව පොලිස් ස්ථාන වෙත බදවාගත් තාවකාලික සුළු කම්කරුවන් වෙනුවෙන් ව්‍යාජ ලිපි ගොණු ඉදිරිපත්කර රජයේ මුදල් ලබාගනිමින් මෙම නිලධාරීන් දෙදෙනා වංචාවක් සිදුකර ඇති බවට ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද නිර්නාමික පෙත්සමකට අදාලව කළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 2024 අගෝස්තු 15 දින සිට 2024 සැප්තැම්බර් 21 දක්වා කාලය තුළ නීති විරෝධි පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට අඹගස්දෝව පොලිස් ස්ථානයට බදවා ගන්නා ලද තාවකාලික කම්කරුවන් දෙදෙනෙක් වෙනුවෙන් ව්‍යාජ තොරතුරු ඇතුලත් වවුචර්පත් ඉදිරිපත් කර රජයේ මුදල් රුපියල් 19,1193.08ක මුදලක් වංචාකර ඇති බවය. ඒ අනුව එම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන විට උප පොලිස් පරීක්ෂකවරිය සේවයේ නිරතව සිට ඇත්තේ උඩපුස්සැල්ලාව පොලිස් ස්ථානයේය.

    මෙම අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම නිලධාරීන් දෙදෙනා අපේක්ෂිත ඇප ලබාගෙන තිබී ඇත. ඒ අනුව මෙම නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාා හැර ඇත.

    බක්මහ සංගීතය අවසානයේදී පොලිසියට ගල් මුල් ප්‍රහාරයක්

    0

    හෝමාගම පිටිපන කිරිබේරිය කැලේ මහින්ද මාවතේ වැසියන් විසින් ඊයේ සංවිධානය කළ බක්මහ උළෙල අවසානයේ පැවති සංගීත ප්‍රසංගය නිමාවීමත් සමග පිරිසක් විසින් ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර ඇත.

    මෙම ප්‍රහාරයෙන් කුවාල ලැබූ හෝමාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රිියශාන්ත නැමැති නිලධාරියා හෝමාගම රෝහලින් ප්‍රතිකාරද ලබා තිබේ.

    මෙම බක්මහ උළෙල සහ සංගීත ප්‍රසංගය සඳහා උදෑසන 7.00 සිට රාත්‍රී 10.00 දක්වා පොලිසිය ශබ්ද විකාශන බලපත්‍ර ලබාදී තිබී ඇත.

    රාත්‍රී 10.00 වන විිට පොලිසිය සංවිධායකයන්ට දැනුම්දී ඇත්තේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට ලබාදී ඇති කාලය අවසන් බැවින් ප්‍රසංගය නතරකරන ලෙසය. පොලිසියේ එම දැනුම්දීම නොතකා දිගින් දිගටම සංගීත ප්‍රසංගය පවත්වාගෙන ගිය සංවිධායක මණ්ඩලය අවසානයේදී රාත්‍රී 11.00ට පමණ ප්‍රසංගය නවතා ඇත්තේ පොලිසියේ දැඩි බලපෑම හමුවේය.

    ප්‍රසංගය නතර කිරීීමෙන් අනතුරුව ගල්මුල් ප්‍රහාරයක් පොලිස් නිලධාරීන්ට එල්ලකර ඇත්තේ ද සංවිධායක මණ්ඩලයේම පිරිසක් බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඒ අය අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කළේය.

    සිඟිති අවුරුදු උත්සවයේ දී පොලීස් රාළහාමි ට දැලි පිහි ප්‍රහාරයක්

    0

    සිගිති අවුරුදු උත්සවයකින් අනතුරුව රාත්‍රී කාලයේ පැවති සංගීත සංගීත ප්‍රසංගයක් අතර තුර පොලිස් නිලධාරියෙකුට පහරදී දැලි පිහියකින් කපා තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන ඇත.

    කොට්ඨාව අධිවේගී මාර්ග පොලිස් මුරපොලට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ පහරකෑමට ලක්ව තිබේ.

    මෙම නිලධාරියා තුවාල ලබා ඇල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

    මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 15 වෙනිදා රාත්‍රී කාලයේදීය. මෙදින රාජකාරි විවේකය වාර්තාකර නිවසට පැමිණ සිටි නිලධාරියා සිය දරුවන් සමඟ සිඟිති අවුරුදු උත්සවයට මෙදින පෙරවරුවේදී සහභාගිවී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

    ත්‍යාග ප්‍රධානෝත්සවය සහ සංගීත ප්‍රසංගයක් රාත්‍රී කාලයේ පවත්වා ඇත. එම සංගීත ප්‍රසංගය නැරඹිමට ගොස් සිටියදී පොලිස් නිලධාරියා සමඟ මත්පැන් පානයකරමින් සිටි සිව් දෙනෙක් ගැටුමක් ඇතිකරගෙන නිලධාරියාට පහරදී දැලිපිහියෙන් කපා ඇති බව පොලිසිය සඳහන් කරයි.