fbpx
තවත්
    මුල් පිටුවවිශේෂාංගJoker at The Dark Knight - Heath Ledger

    Joker at The Dark Knight – Heath Ledger

    කලා ලෝකයේ සියදිවි නසා ගැනීම් ගැන ඔබ අසා ඇති. ලෝ ප්‍රකට හොලිවුඩ් නිළි මැලරින් මොන්රෝ, බොලිවුඩයේ දිව්‍යා භාරතී සිට මෙරට සාමාන්‍ය ටෙලි නළුවන් දක්වා වරින් වර එසේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ, ඒත් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සිදුවූ යම් අවාසනාවන්ත සිදුවීම් නිසා මානසික ආතතියට පත් වූ තරු එසේ අප හැර ගියා. මේ සටහනත් එවැනි තරුවක් ගැනයි.
    ඔහු හීත් ලෙජර්. ඔස්ට්‍රේලියානු සම්භවයක් ඇති ඔහු දීර්ඝ කැපවීමක් අවසානයේ හොලිවුඩයේ සම්මානනීය නළුවෙක් බවට පත් වෙන කෙනෙක්. බටහිර සිනමාව තුල අති දක්ෂයෙක් ලෙස විචාරකයන්ගේ පැසසුමට ලක්වන්නෙක්. සිය වෘත්තීය දිවියේ ඉහළම තැනදී ඔහු සිය ජීවිතය අත හරින්න තීරණය කරනවා. ඒ පෞද්ගලික ජීවිතයේ හැල හැප්පීම් වලට වඩා ඒ වන විට මුලු ලොවක් ඔහු හඳුනාගෙන සුවිශේෂ රංගනයක මානසික ගොදුරක් බවට පත් වීමෙන් බවයි බොහෝ දෙනා ගේ අදහස.

    කතාව ටිකක් අමුතු වගේ දැනෙයි. ඒ වගේම අපේ මනස අපි නොහිතනා කොයි තරම් දුර ගෙන යනවාදැයි කියාත් ඔබට වැටහේවි.
    හීත් ලෙජර් ගේ හොලිවුඩයේ ආගමනයේ විශේෂ තැනක් සටහන් කරන චිත්‍රපටය වන්නේ 2008 දී තිරගත වන සුප්‍රකට බැට්මෑන් චිත්‍රපට පෙළේ The Dark Knight චිත්‍රපටයයි. සුපිරි වීරයන්ගේ චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂකවරයෙක් වන ක්‍රිස්ටෝපර් නොලෑන් ගේ චිත්‍රපටයක් වන මෙහි ජෝකර් යන සහය චරිතයෙන් නිරූපණය කරන්නේ මනෝ ව්‍යාධිය සහිත වියරු දාම ඝාතකයෙක් පිළිබඳවයි. අපේ කතා නායකයා වන හීත් ලෙජර් මේ චිත්‍රපටයේ එම චරිතය සඳහා තෝරා ගැනෙනවා. ඔහු කෙතරම් තම වෘත්තීය ට කැපවීම් සහිත අයෙක් ද කියනවා නම් අදාල චරිත ඉතාම හොඳින් නිම කිරීමට රූගත වන කාලසීමාව පුරා එම චරිත ස්වභාවයට ආවේශ ව සිටි බව සඳහන්. ඒ වගේම මනෝ ව්‍යාධිවේදය ගැන ඉතා ගැඹුරින් කරුණු සෙවු බවත් සඳහන්. ඔහු කෙතරම් ඒ චරිතයට සාධාරණය කලාද කියනවානම් සහය චරිතයක් වූ එය චිත්‍රපටයේ ප්‍රේක්ෂකයා ගේ මූලික අවධානය දිනාගත් එකක් බවටත් පත් උනා. ඒ වගේම එම චරිතය නිරූපණය වන කාලසීමාව පුරාම ලෙජර් තම සැබෑ චරිතය යටපත් කරගෙන අදාල චරිතය තම සැබෑ චරිතය බවට පෙන්වා සිටිමින් වින්දනය ලැබූ බව ද සඳහන්.

    2008 වසරේ එම චිත්‍රපටය ලොව පුරා තිරගත වෙන්නේත් නොමද ප්‍රේක්ෂක ආකර්ෂණය ලබමින්. හීත් ලෙජර් ඇකඩමි හා ගෝල්ඩන් ග්ලෝබි සම්මාන වල දී හොදම සහය නළුවා බවට ද, ඔස්ට්‍රේලියානු ෆිල්ම් ඉන්ටිටියුට් හි හොඳම නළුවා – ජාත්‍යන්තර සම්මානය ද ඇතුලු සම්මාන ගණනාවක් ලබනවා. නමුත් ඒ සම්මාන විඳීමට හා ඔහු ලඟා කරගත් රංගනයේ ඉහළම තලයේ වැජඹීමට දෛවය ඉඩ නොදෙන්නේ චිත්‍රපටය ප්‍රචාරණය ආරම්භ වී මාස හයකට පසු ඖෂධ අධි මාත්‍රාවෙන් ලබා ගෙන ඔහු සියදිවි හානි කර ගැනීම නිසයි.

    රංගන දිවියේ ඉහළම තලයේ දී ඔහු සියදිවි නසා ගන්නේ ඇයි?

    චිත්‍රපටයේ පසුබිම් සිදුවීම් හා ලෙජර් ගේ පෞද්ගලික ජීවිතය විමසන විට ජෝකර් ලෙස චරිතයට අවතීර්ණ වීමට සියල්ලන්ගෙන් හුදකලාව හෝටල් කාමරයක මසක පමණ නැවතී එම චරිතය අධ්‍යනය කළ බව පැවසෙනවා. මේ කාලය තුල ඔහු තමාගේ සැබෑ පෞරුෂය යටපත් කර ජෝකර් නම් මනෝ ව්‍යාධිය සහිත දාම ඝාතකයාගේ මානසිකත්වයට සිය මනෝ පෞරුෂය ආක්‍රමණය කිරීමට ඉඩ දුන් බව සඳහන්. මේක හරියට තමා තුල තමා නොවන දුෂ්ට, අධම චරිතයට තමා ලෙස පෙනී සිටින්ට ඉඩ හැර දීමක් වගේ තේරුම් ගත හැකියි.

    ඔහුගේ උත්සාහය සාර්ථක රංගනයක් උදෙසා වුවත් අවසානයේ ඔහුගේ සියදිවි නසා ගැනීමට එම ආරෝපිත පෞරුෂයෙන් සැබෑ පෞරුෂයට පැමිණීමට ඔහු අපොහොසත් වීමේ ගැටුමෙන් උපන් ආතතිය හේතු වූ බව සඳහන්. නමුත් ඇතැම් විචාරකයින් සහ මනෝ වෘත්තිකයන් ඔහු ගේ සියදිවි නසා ගැනීමට චිත්‍රපට රංගනය පමණක් නොව පෞද්ගලික ජීවිතයේ ඔහු මුහුණ දුන් ඇතැම් සිදුවීම් වලින් ඇති වූ දිර්ඝ කාලින ආතතිය ද බලපෑම් කරන්න ඇති බව ත් සඳහන් කර තිබෙනවා.

    කෙසේ වුවත් සම්මානනීය නළුවෙකු, සිය වෘත්තීය ජීවිතයේ ඉහළම හිණිපෙත්තේ දී ජීවිතය අතහැර යාමට තීරණය කිරීම බොහෝ සිතන්නට කාරණා මතු කරන දෙයක්.මිනිස් මනස ඒ තරම් ම ගුප්ත යි. ඒ වගේම ගැඹුරු යි.

    සජිනි උයන්ගොඩ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.