fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්යාපනයේ යකා නටන කඩු කල්ලියේ නායකයා එක්ක 03 ක් අල්ලයි

    යාපනයේ යකා නටන කඩු කල්ලියේ නායකයා එක්ක 03 ක් අල්ලයි

    යාපනයේ කෝපායි හී පිහිටි ටික් ටොක් ස්ටූඩියෝවකට පහරදී එහි සිටි 07 දෙනෙක් කපාකොටා තුවාලකර පළාගිය කල්ලියේ සාමාජිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (04) සමත් විය.

    පහරදීමට ඔවුන් යොදාගත් කඩු 02 ක්, කෙටේරි 03 ක් ද ප්‍රහාරයට ගමන් කළ යතුරුපැදියක් සහ ත්‍රී රෝද රථයක්ද පොලීසිය සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර එම ප්‍රහාරයට නායකත්වය දුන් පුද්ගලයාද සිටින බව පොලීසිය කියයි. අකිල සුමන් නැමැති ඔහු යාපනයේ ක්‍රියාත්මක වූ කඩු කල්ලියක් වන ආවා කල්ලියෙන් කැඩී ගිය පුද්ගලයෙක් බවත් ඔහු මේ වන විට වෙනම කණ්ඩායමක් සකස්කරගෙන සිටින බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    කෝපායි හී පිහිටි ටික් ටොක් ස්ටූඩියෝවට පහරදීම සිදුවන්නේ ඉකුත් 30 වෙනිදාය. එම ප්‍රහාරයට සම්බන්ධවූ තවත් 11 දෙනෙක් සහ යතුරු පැදි 05 ක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.

    එම ප්‍රහාරයට මුල්වී ඇත්තේ ආවා කල්ලියෙන් කැඩී ගිය තවත් කණ්ඩායමක සාමාජිකයින් පිරිසක් විසින් ඉකුත් 27 වෙනිදා යාපනයේ කොකුවිල් හී පදිංචිව සිටින අකිල සුමන්ගේ කල්ලියේ සාමාජිකයෙක් වන පොට්ටු නැමැත්තා පදිංචිව සිටින නිවසකට එල්ලකල ප්‍රහාරයකි. පොට්ටුගේ නිවසට පහරදීමට සම්බන්ධ වූ කිහිපදෙනෙක් ටික් ටොක් ස්ටූඩියෝවේ සිටින බවට ලද තොරතුරකට අනුව එම පහරදීම සිදුව ඇතැයි පොලීස් විමර්ශන වලින් අනාවරණය වී ඇත. පහරදීම සිදුවන විට එහි සිට ඇත්තේ පොට්ටුගේ නිවසට පහරදීමට පැමිණි කණ්ඩායමේ එක් සාමාජිකයෙක් පමණක් බවත් සෙසු ඇය සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන බවත් අනාවරණය වී තිබේ.

    යාපනය කොකුවිල් හී පිහිටි නිවසකට ඉකුත් 28 වෙනිදා එල්ලකල ප්‍රහාරයකි. එම පහරදීම ගැන පොලීසියට පැමිණීල්ලක් පවා ලැබී නැත. එම නිවසේ සිටින “පොට්ටු“ නැමැති පුද්ගලයා අකිල සුමන්ගේ කල්ලියේ සාමාජිකයෙක් බැවින් සිය සගයාට එල්ලකල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස ටික් ටොක් ස්ටූඩියෝවට පහරදී තිබෙන බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    පහරදීමට සුළු මොහොතකට පෙර එම ස්ටූඩියේ සිටි පොට්ටුගේ නිවසට පහරදුන් කිහිප දෙනෙක් ඉවත්ව ගොස් ඇතැයිද විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඒ බව නොදැන එම ප්‍රහාරය එල්ලකර ඇති බවත් ඊට පොට්ටු ද පැමිණ ඇති බවත් පොලීසිය කියයි.

    මෙම කල්ලියට නායකත්වය දෙන අකිල සුමන් නැමැත්තා ආවා කල්ලියේ සාමාජිකයෙක්ව සිටියදී එල්ලකල මෙවැනි පහරදීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව මේ වන විට සිටින්නේ ඇප මත බව පොලීසිය සදහන් කරයි. 27 හැවරදි වියැති ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අවුරුදු 21 සහ 19 යන වයස්වල පසුවන්නන්ය. මෙම කල්ලියේ සාමාජිකයන් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා නිසි රැකියාවක් නොමැතිව යතුරු පැදිවලින් කල්ලි ගැසී කරක් ගසන පුද්ගලයින් බවද පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙම තරුණයින් දකුණු ඉන්දියානු චිත්‍රපට නැරඹිමට තදින්ම ඇබ්බැහි වී සිටින බවත් ඔවුන් කඩු කෙටේරි රැගෙන යතුරු පැදිවලින් යමින් පහරදීම් කරන්නේ එම චිත්‍රපටවල චරිත ආරෝපනය කරගෙන බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස්මත යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උජිත් ලියනගේ සහකාර පොලිස් අධිකාරී චන්දන ගමගේ යන මහත්වරුන්ගේ මෙහෙයැවීමෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆැන්සිස් මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වති.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.