fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අපේ සිහින කොච්චර වෙනස් වුණත් අපේ ගමන රටේ ගමනෙ කොටසක් - Softlogic...

    අපේ සිහින කොච්චර වෙනස් වුණත් අපේ ගමන රටේ ගමනෙ කොටසක් – Softlogic Holdings PLC සමූහයේ සභාපති අශෝක් පතිරගේ

    අපි හැමදෙනාම තමන් තමයි රට කියලා හිතන්න ඕන. අපේ සිහින කොච්චර වෙනස් වුණත් අපේ ගමන රටේ ගමනෙ කොටසක්. ඉතින් අපි හැමෝම කියන්නෙ මේ රට. කිසිවකුට එය තනිව කරන්න බැහැ. ඒ නිසා අප ඉදිරියට යද්දී රට ඉදිරියට යනවා” යැයි සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

    ගෝලීය කොවිඩ් වසංගතය තත්ත්වය තුළ කර්මාන්තවල කප්පාදු කිරීම්වලට පවා මුහුණ දී සිටින ඇතැමුන්ට ශ්‍රම බලකායට පවා ඇතුළුවීමේ දුෂ්කරතා මතුවී ඇති මෙම කාලය තුළ තම අරමුණු, සැලසුම්, බලාපොරොත්තු කුමක් හෝ වේවා ඒවා අත්නොහැර, තදින් ග්‍රහණයකරගනිමින් ඉවසීමෙන් ‍යුතුව නිවැරදිව වේලාව එනතෙක් බලා සිටින්නැයි අශෝක් පතිරගේ මහතා ඉල්ලා සිටියි.

    ඒ අනුව වසංගතයෙන් නැගී සිටීමට සූදානම් වන තරුණ අලෙවිකරුවන්ට, ව්‍යවසායකයන්ට, ශ්‍රම බලකායට මේ මොහොතේ කළ යුතු එකම දේ අනපේක්ෂිත වසංගත තත්ත්වය මත යළි ශක්තිමත්ව නැගී සිටීමේ අරමුණින් ඉවසා සිටීම බව හෙතම අවධාරණය කරයි.

    “තාක්ෂණික ආරම්භයක සිට ගෘහස්ථ සන්නාමයක් බවට සොෆ්ට්ලොජික් පත්වූයේ කෙසේද ?” මැයෙන් වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) ආරාධිත සජීවී අන්තර්ජාල වීඩියෝ තාක්ෂණ සාකච්ඡාවකට එක්වෙමින් අශෝක් පතිරගේ මහතා ඊයේ (29) දින මේ බව ප්‍රකාශ කළේය.

    “වසංගතයෙන් නැගිට එද්දී අපි ආ යුත්තේ ශක්තිමත්වයි. මම දන්නේ නැහැ ඊට මාස 6ක් ගතවේවිද වසරක් ගතවේවිද කියලා. මම හිතන්නේ අප මේ මොහොතේ කළ යුත්තේ කෙසේ හෝ අල්ලාගෙන සිටීමයි. අපගේ අරමුණු හෝ වේවා, අපගේ බලාපොරොත්තු, අපගේ සැලසුම් කුමක් හෝ වේවා අප නිවැරදි වේලාව එනතෙක් තදින් අල්ලාගෙන බලා සිටිය යුතුයි. වැඩ කරන තැනක වුණත් වෙනත් දෙයක් සම්බන්ධයෙන් වුණත් මම කියන්නේ වෙලාව එනතුරු අල්ලාගෙන සිටින්න. අපිට අවශ්‍යයි තමයි නමුත් අවස්ථාව ලැබෙනවා. අප එතෙක් සිටිය යුතුයි. ඔබගේ අරමුණු කුමක් වුවත් එය මේ මොහොතේ දැඩිව ග්‍රහණය කරගෙන සිටින්න. මේ මොහොතේ අවශ්‍යම ඉවසීමයි. වෙනත් විකල්පයක් නෑ. එය තෝරාගැනීමක් නෙවෙයි අපිට මේ තත්ත්වයට වෙනත් විසඳුමක් නෑ.”

    සොෆ්ට්ලොජික් ආයතනය තාක්ෂණික ආරම්භයක සිට ගෘහස්ථ සන්නාමයක් දක්වා පැමිණි අතිසාර්ථක ගමනේදී මෙම දැවැන්ත සාර්ථකත්වයට ඔබ ආරෝපණය කරන ප්‍රධාන සාධක මොනවාද? යනුවෙන් මෙහිදී කළ විමසුමට සභාපතිවරයාගේ පිළිතුර වූයේ තමා කරන කාර්යය කුමක් වුවද එය තමාගේ කැමැත්ත බවට පත්කරගත හොත් එය සාර්ථකත්වයේ පදනම වනු ඇති බවයි.

    “මම මොන දේ කළත් ඒ දේ ආසාවෙන් කළේ. ඒ හැම මොහොතක්ම මම විඳිනවා. අදටත් එහෙමයි. මම කරන දේට මම ආදරෙයි. ඒක තමයි ප්‍රධානම දේ. සමහර විට එතනදී මුදල් කියන දේ ප්‍රධානම දේ නොවෙන්නත් පුළුවන්. එය තනිකරම ඔබේ දෙයක්, ඔබේ කාර්යයක් කරගන්න. මම කරන දෙයට මම කැමතියි. මම එයින් සතුටක් ලබනවා. මගේ පැත්තෙන් හැමදේටම මූලික වෙන්නේ අන්න එයයි.”

    මෙහිදී සභාපතිවරයා රටේ තරුණ ප්‍රජාව සමඟ සිය අත්දැකීම් බෙදාගනිමින් පැවසුවේ අප හමුවට එන අවස්ථාවන් අප විසින් ග්‍රහණය කරගත යුතු බවයි.

    අපට හමුවන කුමන හෝ අවස්ථාවක් වේවා ඒ තුළ සැඟවී ඇති ධනාත්මක තත්ත්වයන්, අවස්ථාවන් පිළිබඳ විමසා බලා කටයුතු කිරීම ඇතැම් විට අප අපේක්ෂා නොකරන කාලයකදී වඩාත් සාර්ථක ගමනකට ඉවහල්වනු ඇතැයි ද හෙතම විශ්වාසය පළ කළේය.

    “කුමන කාර්යයක් සිදුකළ ද ඔබ විශ්වාසවන්ත පුද්ගලයකු බවට පත්විය යුතුයි. මිනිසුන් ඔබව විශ්වාස කිරීම ඇරඹූ දා සිට එය ඔබගේ සාර්ථකත්වයට ලොකු සහයක් වේවි. ඒ නිසා ඔබ කළ යුත්තේ හරි දේ පමණයි. එය ඉතාම වැදගත්. ඔබට වැරදි කළ හැකියි. නමුත් ඔබට වැරදි ගොඩක් ‍කළ නොහැකියි. මොකද ඔබ වැරදි කරන්න කරන්න ඔබට යමක් හෝ සේවාවක් විකිණීමට නොහැකියි. කුමන කාර්ය කළත් ඔබ මුලින් ස්ථාවර වීමට නම් ඔබ හැමවිටම හරිම දේ කළ යුතුයි. ඔබේ පොරොන්දු ඉටු කිරීමට නම් ඔබ අවංක විය යුතුයි. කාර්යයට ඇති අවංක බව මෙහිදී ඉතා වැදගත් දෙයක්.”

    “මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ දී අප රටක් වශයෙන් ස්ථාවර වීමට මුලින්ම දේශපාලනික වශයෙන් ස්ථාවර විය යුතුයි. දේශපානඥයන් මුලින් රට ගැන සිතා පසුව ඔවුන් ගැන සිතිය යුතුයි. අපිට අවශ්‍ය වන්නේ එයයි. නායකත්වය ආ යුත්තේ එතැන් සිට. අපි හැමෝම කොතැන හෝ සිටිමින් ඊට සහය දෙනවා.

    මම හිතන්නේ අපි හැමදෙනාම තමන් තමයි රට කියලා හිතන්න ඕන. අන්න එවිට අපිට රටක් ලෙස ගමනක යෙදිය හැකියි. අපි එකිනෙකාගේ ගමන කොතරම් වෙනස් එකක් වුවත් අපි හැමෝම ගමන අවසානයේ රටක් බවට පත්වෙනවා. අපේ සිහින කොච්චර වෙනස් වුණත් අපේ ගමන රටේ ගමනේ කොටසක්. ඉතින් අපි හැමෝම කියන්න මේ රට. කිසිවකුට එය තනිව කරන්නට බැහැ. ඒ නිසා අප ඉදිරියට යද්දී රට ඉදිරියට යනවා” යැයි ද අශෝක් පතිරගේ මහතා මෙහිදී අවධාරණය ක‍ර සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.