fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ප්‍රහාරයේ පොලිස් විමර්ශන අවසන් කෙරේ

    පාස්කු ප්‍රහාරයේ පොලිස් විමර්ශන අවසන් කෙරේ

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන පරීක්ෂණ මේ වන විට අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    එම විමර්ශනවල උදෘතයන් නීතිපතිවරයාට ඉදිරිපත්කර ඇති බවත් ලබන ජූනි මාසයේදී සැකකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ප්‍රකාශකර ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

    පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ අන්තවාදී ක්‍රියා හා ඒ සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුවන බවද ඔහු කීය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලට අදාලව සැකකරුවන් 724 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අයගෙන් 83 දෙනෙක් රැදවුම් නියෝග මත රදවා සිටින බවත් 227 දෙනෙක් බන්ධනාගාරගතකර සිටින බවත් අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    විමර්ශන වලින් මෙම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට අයත් රුපියල් මිලියන 28.5 ක් සහ ඇමරිකානු ඩොලර් හයලක්ෂ අසූපන්දහස් අටසිය තිහක්ද සොයාගෙන තිබෙන බව ඔහු කීය. ඊට අමතරව රුපියල් මිලියන 14 ක් පමණ වටිනා නිල් මැණික් 03 ක් රුපියල් මිලියන 24 ක් වටිනා ස්වර්ණාභරණ ඇතුළු රුපියල් මිලියන 205 ක දේපොලද සොයාගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    ඊට අමතරව අන්තවාදීන්ගේ පුහුණු කදවුරු 03 ක්ද තහනම් කිරීමට පියවර ගත් බවත් ඒ අතර වනාතවිල්ලුවේ පිහිටි අක්කර 18 ක ටැක්ටොස්වත්ත, වැලිකන්ද අසේලපුර පිහිටි අක්කර 25 ක ඉඩමත් කාතන්කුඩි ඔල්ලිපුරම් හී පිහිටි අක්කර 25 ඉඩමත් දෙමටගොඩ පිහිටි පර්චස් 8.5 ක ඉඩමකුත් ඇතැයි අජිත් රෝහණ මහතා පැවසීය.

    ඉඩම්වලට අමතරව වෑන් රථ 07 ක්, කැබ් රථයක්, යතුරුපැදි 07 ක් සහ ත්‍රී රෝද රථයක්ද සොයා ගෙන ඒවාද තහනම්කර ඇතැයි ඔහු සදහන් කළේය. ඊට අමතරව බැංකු ගිණුම් 100 ක් පරීක්ෂාකර එම ගිණුම්වල ඇති රුපියල් මිලියන 134 ක මුදලක්ද තහනම්කර තිබෙන බවද ඔහු පැවසීය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් ප්‍රකාශ 9800 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සටහන්කරගෙන ඇති බවත් දුරකතන අංක 21000 ක් විශ්ලේෂණය කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.