නීතීඥවරයෙකු මෙන්ම පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් තලංගම පිහිටි ඉඩමකට ව්‍යාජ ලේඛන සකස්කර බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව සැකපිට හෝමාගම ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ප්‍රධාන ඉඩම් රෙජිස්ටාර්වරයා කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත්තේය.
මෙම සැකකාර රෙජිස්ටාර්වරයා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරිය බව කොළඹ දිසා අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.
ඉඩමට අදාලව ව්‍යාජ ලේඛන සකස් කිරීමට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.
මෙම ඉඩමේ හිමිකාර නීතීඥවරයා කාලයක් පොලිස් සේවයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. විදේශගතව සිටින පාතාලයේ අපරාධකරුවෙකුගේ ගෝලයින් දෙදෙනෙක් මෙම ඉඩම අල්ලාගෙන එහි පැල්පතක් සකස්කර ඊට සූර්ය බල විදුලියද ලබාගනිමින් පවුලක් පදිංචිකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. මේ කටයුත්ත කර ඇත්තේ මෙම ඉඩමේ සැබෑ හිමිකරුගේ නමින් ඇති සියලු ලේඛන ඉවත්කර ඒ වෙනුවට ව්‍යාජ ලෙස සකස්කල පත්තිරු සහ ලේඛන වෙනත් හිමිකරුවෙකුගේ නමින් ඇතුලත් කරමින් බව විමර්ශන වලින් අනාවරණය වූ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා සඳහන් කළේය.
මෙම ඉඩම ඉදිකිරීමක් නොකර කාලයක් තිස්සේම පැවතුනු එකක් බවත් මෙවැනි ඉඩම් හඳුනාගෙන ජාවාරම්කරුවන් මෙසේ අත්පත්කර ගැනීම් සිදුකරන බවත් විමර්ශනයේදී හෙළිවූ බව ද ලොකුහෙට්ටි මහතා පැවසීය.
මෙම ජාවාරමට රාජ්‍ය නිලධාරීන්ගේද සහය ජාවාරම්කරුවන්ට ලැබී ඇති බවත් දැනටමත් මෙම ජාවාරම සම්බන්ධයෙන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු කීය. තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද ඔහු පැවසීය.
අදාල නීතීඥවරයා මේ සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලිකර ඇත්තේ තලංගම පොලිස් ස්ථානයට බවත් එහිදී පොලිසිය කටයුතු කර ඇත්තේ නීතීඥවරයාට එරෙහිව බවත් ලොකුහෙට්ටි මහතා කීය. තමන්ට සිදුවූ අසාධාරණය ගැන නීතීඥවරයා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුවත් කිරීමෙන් පසු එම විමර්ශනය කොළඹ දිසා අපරාධ කොට්ඨාශය වෙත පවරා තිබේ. ඒ අනුව කරනු ලබන විමර්ශනයේදී රහසිගතව කාලයක් තිස්සේ සිදුකරනු ලබන සංවිධානාත්මක මෙම ජාවාරම ගැන තොරතුරු අනාවරණය වී තිබේ.