අත්බෝම්බ දෙකක් රුපියල් 60,000කට අලෙවි කළ බව කියන යුද හමුදා සෙබලු දෙදෙනෙක් අත්අඩංගුවටගත් යුද හමුදා පොලිසිය ඔවුන් දෙදෙනා ගල්ගමුව පොලිසියට භාරදී තිබේ.
මෙම සෙබලු දෙදෙනා මහනුවර රජවීදිය ගජබා රෙජිමේන්තු බලඇණියේ සේවයේ නිරතව සිටින අය බවත් ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී හෙළිවූ තොරතුරු මත බෝම්බ දෙක මිලදී ගත් පුද්ගලයා ගල්ගමුව පොලිසියේ නිලධාරීන් විසින් පසුගිය 13 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් 60,000කට මෙම සෙබලු දෙදෙනා විසින් අත්බෝම්බ දෙකක් අලෙවිකර ඇති බවට යුධ හමුදාවට ලද තොරතුරකට අනුව යුධ හමුදා පොලිසිය විසින් විමර්ශන පවත්වා සැකකාර සෙබලු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
එක් සෙබලෙක් අම්පාර වීරගොඩ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර දෙවැන්නා කඩුවෙල කොරතොට පදිංචි 39 හැවිරිදි වියේ පසුවන්නෙකි.
මෙම සෙබලු දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවටගත් බෝම්බ දෙක මිලදීගත් තැනැත්තා ගල්ගමුව පොලිසිය පිටුපස ඉසුරුපුර පදිංචිකරුවෙකි. වයස අවුරුදු 37ක් වන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු මත මිලදීගත් අත්බෝම්බ දෙක ඔහු පදිංචිව සිටින ගෙවත්තේ වලදමා තිබියදී ගල්ගමුව පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.