විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන කෝරාලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ තොරතුරු ඇතුලත් කරමින් විදෙස් ගමන් බලපත්‍ර 03ක් සකස් කිරීම සම්බන්ධයෙන් සැකපිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) අත්අඩංගුවට ගත්තේය.
මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ට ඇතුළු විවිධ පුද්ගලයින්ට ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් කරන ලබන පරීක්ෂණයකට අදාලව හෙළිවූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
මෙම පාතාල අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස්ගමන් බලපත්‍ර සකස්කර දීමට මැදිහත්කරුවන් වූ ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 23 වෙනිදා අත්අඩංගුවට ගත්තේය.
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ලේ සංජීව ඝාතනය, ගම්පහ අධිකරණය ආසන්නයේදී පස් පොඩ්ඩා ඇතුළු සිව් දෙනෙක් මෝටර් රථයක් තුළ වෙඩි තබා ඝාතනය ඇතුළු ඝාතන රැසක් විදේශයක සිට මෙහෙයවා ඇතැයි අනාවරණය වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුය.
මෙම පාතාල අපරාධකරු 2014 වසරේදී ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකින් 2021 වසරේදී ඩුබායි රාජ්‍ය බලා ගොස් තිබිණි. මේ වන විට ඔහු යුරෝපීය රටක රැදී සිටින බව සඳහන්ය. ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට එරෙහිව රතු නිවේදනයක්ද නිකුත්කර තිබේ. එම රතු නිවේදනය නිකුත්කර ඇත්තේ 2021 වසරේදී ඔහු රටින් පිටවීමට යොදාගත් විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරුද ඇතුලත්කරමිනි.
මෙම විදෙස්ගමන් බලපත්‍රය 2024 වසරේ දී කල් ඉකුත්වීම මත එය අලුත් කරවා ගැනීමට ඔහු විදේශගතව සිටියදී ම කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ සඳහා ඔහුගේ ඡායාරූපයක් සමඟ ව්‍යාජ නම්ගම් සහිත තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර විදෙස්ගමන් බලපත්‍රයක් සකස්කරගෙන ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත. එම විදෙස්ගමන් බලපත්‍රය සකස්කරගෙන ඇත්තේද එක්දින සේවාව මගින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම විදෙස් ගමන් බලපත්‍රයට අමතරව 2025 වසරේද තවත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ඔහුගේ මුහුණ යොදා වෙනත් නම් වලින් සකස්කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත. ඒ අනුව මෙම විදෙස් ගමන් බලපත්‍ර 03 සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව මෙම විදෙස් ගමන් බලපත්‍ර සකස්කරගෙන ඇති බවය. රුපියල් මිලියන ගානක මුදලක් ඒ වෙනුවෙන් හුවමාරුවී ඇති බවද පෙනී ගොස් තිබේ.
දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇත්තේ මෙම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ඇතුළු ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත්තේ බත්තරමුල්ලේ සහ කොහුවල පිහිටි ඡායාරූප ශාලා දෙකක් ඔස්සේ බවය. ඒ අනුව එම ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනා පසුගිය 23 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ප්‍රශ්න කිරීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ වට්ස් ඇප් ඔස්සේ කෙහෙල්බද්දර පද්මේ විසින් එවූ ඡායාරූප සංස්කරණයකර ව්‍යාජ තොරතුරු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකිරීම සම්බන්ධයෙනි.
එම ඡායාරූප සහ තොරතුරුවලට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස්කර ඇති බවත් ඒ සඳහා ව්‍යාජ ජාතික හැදුණුම්පත් සහ උප්පැන්න සහතික පවා යොදාගෙන ඇති බව පෙනී ගොස් තිබේ. ගමන් බලපත්‍රය සකස් කිරීමේදී යොදා ගන්නා ඉල්ලුම්කරුගේ ඇගිලි සලකුණ ද ව්‍යාජ ලෙස යොදා ඇතැයි අනාවරණය වී ඇත.
විදෙස්ගමන් බලපත්‍රයේ අයදුම්කරු සජීවී ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිය එක් දින සේවාව මගින් විදෙස් ගමන් බලපත්‍ර සකස්කිරීමට අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙහෙල්බද්දර පද්මේ ට අමතරව විදෙස්ගතව සිටින තවත් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්ටද ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර සකස්කර ඇති බව ද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වනු ලබයි. ඒ අනුව ඉදිරියේදී තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
කෙහෙල්බද්දර පත්මේට ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර තුනක් සකස්කර දීමට සම්බන්ධ වූ ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 23 වෙනිදා ඉදිරිපත් කරනු . එහිදී ඔවුන් දෙදෙනා ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.