fbpx
තවත්
    මුල් පිටුවරැල්ලජනතාව ඉල්ලූ ආරක්ෂක ලේකම් ජනපති පුටුවේ සිටින බව සිහිකරමින් පොලිසියේ වාහන ස්ටිකර්...

    ජනතාව ඉල්ලූ ආරක්ෂක ලේකම් ජනපති පුටුවේ සිටින බව සිහිකරමින් පොලිසියේ වාහන ස්ටිකර් නාඩගම නැවතුණ හැටි

    අපේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාම්ප්‍රදායික ජනාධිපතිවරයෙක් නම් නොවේ. ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටියදී යුද්ධය මෙහෙයැවීම හරියටම කළේය. තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය නිමා කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂට එවකට සිටි විධායක ජනාධිපතිවරයා වූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අලුත් වැඩක් පවරනු ලැබුවේය. ඒ නාගරික සංවර්ධන කටයුත්තය. කොළඹ නගරය අලංකරණය වූයේ ඔහු ආරක්ෂක ලේකම්වරයා වූ පසුව බව කොයිකවුරුත් දන්නා පැරණි කථාවකි. නාවල විවෘත විශ්ව විද්‍යාලය අසල ඇල මාර්ගය අසලින් පටන් ගත් ඒ සංවර්ධන කටයුත්ත පොලීසියට පිරිසර කොට්ඨාශය නමින් පරිසරය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් අංශයක් බිහිවීම දක්වාම ඉදිරියට ගියේය. කොළඹ නගරයේ තැන තැන ගොඩගැසී ගද ගසමින් දින ගණන් ගොඩගැසී තිබුණු කුණු කදු අතුරුදන්වූයේ එම පරිසර පොලීසිය නිසාය. ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයා එදා පරිසර පොලීසියට තදින් සිටියේය. ඒ නිසාම උදේ පාන්දරම පරිසර පොලීසිය පාරට බැස පලාත් පාලන ආයතන සමග සම්බන්ධ වෙමින් පරිසරය පිරිසිදු කිරීමේ කටයුත්තට මුළ පිරුවේය.

    ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයා අමුතුම ආකාරයේ චරිතයකි. ඔහු වාහනයක ගමන් කරන විට අවට පරිසරය ගැන වඩාත් අවධානයෙන් ගමන් කිරීමට පුරුදු වී සිටින්නෙකි. ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ඔහු වරක් විදෙස් සංචාරයක නිරතව නැවත මෙරටට පැමිණ ගුවන්තොටුපොලේ සිට නිවසට යමින් සිටියදී ජා-ඇල පාරක් අයිනේ ගොඩ ගසා තිබුණු කුණු ගොඩක් දැක්කේය. ගතවූයේ විනාඩි කිහිපයකි. කුණු කන්ද එතැනින් අතුරුදන්වූයේ ජා- ඇල පොලිස් ස්ථානාධිපතිවරයාටද ස්ථාන මාරුවීමක් ලැබෙමිනි.

    ඊට ටික කලකට පසු ගල්කිස්සේ පොලිස් ස්ථානාධිපතිවරයාද විසිවී ගියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ උත්සවයකට කටුකුරුන්ද බලා යමින් සිටියදී ඔහු මාර්ගයේ ගොඩ ගසා තිබුණු කුණු ගොඩක් දැකීම නිසාය. එතැන් සිට කුණු කසල නිසා පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වූයේ නැත. නීතිය හා සාමය රැකීමේ කටයුත්තට සමාන බරක් පොලීසිවලින් පරිසර ආරක්ෂාවටද ලැබෙන්නට ගත්තේය. කුණු කදුවලින් තොර අද අපි මේ දකින නගර බිහිවන්නේ ඒ අයුරිනි.

    මේ ගැන යම් සටහනක් තබන්නට සිතෙන්නේ ජනාධිපති ගෝඨාභය තීන්දු තීරණ ගන්නේ පාරේ ගමන් කරන කොට දකින කියන දෑවලින් බවට වූ මතයක් මේ වන විට විවිධ පුද්ගලයින් ගොඩ නගමින් සිටින නිසාය. ඊට මුල පිරෙන්නේ සංචරණ සීමා පැවැතියදීත් මාර්ගයේ විශාල වාහන සංඛ්‍යාවක් ඇතැයි තමාට නිරීක්ෂණය වූ බව මෑතකදී සෞඛ්‍ය හා පොලිස් බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකි. එහිදී ජනාධිපතිවරයා තමාට නිරීක්ෂණය වූ විශේෂ කාරනාවක් එම රැස්වීමේදී සදහන් කළේය. ඒ වැඩි හරියක් වාහන තමන් දුටුවේ වෛද්‍ය ලාංජන සහිතව බවය. ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කලේ එතරම් වෛද්‍යවරුන් පිරිසක් මහපාරේ ගමන් කිරීම ප්‍රායෝගිකව සිදුවීය හැකිද යන්නය. පොලීසියට ජනාධිපතිවරයා එහිදී නොකියා කියන්නේ ඒ ගැන අවධානයක් යොමු කරන ලෙස මිස වෛද්‍යවරුන්ගේ වාහන නවතා පරීක්ෂාකරමින් ඒ අය අපහසුතාවට පත්කරන්නැයි කියා නොව. එහෙත් පොලීසිය කරන්නේ වෛද්‍ය ලාංඡනය සහිතව මාර්ගයේ ගමන් කරන වාහන නතරකරමින් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවට පත්කිරීමය.

    වෛද්‍ය ලාංජන ගසාගත් වාහනවල කුඩු ගංජා කසිප්පු ප්‍රවාහනය කරන ජාවාරම්කරුවන් ද නැතුවා නොවේ. ඒ අය සැබෑ වෛද්‍යවරුන් නොව. බුද්ධි අංශ විසින් පොලීසියට එවන් පුද්ගලයන් ගැන දැනුම් දීම් පවා කර නැත්තේම නැත. වෛද්‍යවරුන් ගමන් ගන්නා වාහන ලෙස ලාංඡන අලවාගෙන නිදන් හාරන්නට ගිය පුද්ගලයින්ව පවා පොලීසිය අල්ලා ගෙන ඇත. ජනාධිපතිවරයා මේ කියන්නේ විමසිලිමත්ව සැබෑ ලෙසම වෛද්‍ය ලාංඡන ගසාගෙන මාර්ගයේ ගමන් ගන්නේ දැයි සොයා බලන ලෙසය. හැබැයි පොලීසිය සිදුකරන්නේ කුමක්ද? ජනාධිපතිවරයාගේ නමද අපකීර්තියට පත්කරමින් වෛද්‍යවරුන්ගේ වාහන පරීක්ෂා කරමින් වෛද්‍යවරුන් හිංසනයටත් පීඩනයටත් පත්කිරීමය. වෛද්‍ය ලාංඡන අවබාවිතා කලේ යැයි කියමින් වාහන සමග කිහිප දෙනෙක්ද අල්ලාගෙන ඒවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධකරන්නට වූයේ ජනාධිපතිවරයාගෙන් ලකුණු දාගන්නටත් එක්කය. හැබැයි පොලීසිය ඒ අල්ලාගෙන තිබුණේ සැබෑ වෛද්‍යවරුන්ගේ වාහන බව ජනාධිපතිවරයාද දැන සිටියේ නැත. පොලීසිය කළේ ලකුණු දා ගැනීමට වෛද්‍යවරයාව රෝහලට ඇරලවා යන වෛද්‍යවරයාගේ සැමියාව, සහෝදරයාව, රියදුරුව අත්අඩංගුවට ගැනීමය. ඒ හැරුණු කොට වෛද්‍ය ලාංඡනයෙන් ගමන් කළ හොර තක්කඩි අල්ලාගත්තේ නම් එක් අයෙක් දෙන්නෙක් පමණි. නමුත් පොලීසිය මාධ්‍ය ඉදිරියේ ලොකු හපන්කමක් කලේ යැයි පෙන්වූයේ ජනාධිපතිවරයා කෙරෙහි වෛද්‍ය වෘත්තිකයන්ගේ අප්‍රසාදය ඇතිකරවමිනි. අවසානයේ එය දැනගත් ජනාාධිපතිවරයා පොලිස් බලධාරීන්ට මදි නොකියන්නට දෙසාබෑමත් සමග වෛද්‍යවරුන්ගේ වාහන ඇල්ලීමට නැවතීමේ තිත තැබෙන්නේ ජනාධිපතිවරයා කී දෙය වටහාගෙන කටයුතු කිරීමට තරම් මොලයක් නැති පිරිසක් පොලීසියේ සිටින බව ඔහුටද පසක් කරමිනි.

    වෛද්‍යවරුන්ගේ වාහන පස්සේ පැන්නූ පොලීසිය එතැන් සිට කොළඹට එන වාහන සංගණනයක් කළේ යැයි කියා සංඛ්‍යා දත්ත වගයක් මාධ්‍යට දුන්නේය. සාමාන්‍ය දිනකට කොළඹ නගරයට වාහන ලක්ෂ 03 කට අධික ප්‍රමාණයක් ඇදී එන බව විශ්ව විද්‍යාලයකින් කළ සමීක්ෂණයක සදහන්ය. එම සමීක්ෂණය පාදක කරගනිමින් පොලීසිය කීවේ සංචරණ සීමා තිබියදීත් කොළඹට දිනකට 50000 ක් පමණ ඇතුළුවෙන බවය.

    මෙවර සංචරණ සීමා පනවා ඇතත් ඇගළුම් කර්මාන්ත ශාලා,ඇතුළු ව්‍යාපාරික ආයතන, බැංකු, සේවා ස්ථාන ඇතුළු ආර්ථිකයට උරදෙන ව්‍යාපාරික ස්ථාන බොහොමයක් ඇත්තේ විවෘතය. ඒතැන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන සෞඛ්‍ය උපදෙස්ද ලබාදී ඇත. මේ අවසරය ලබාදී ඇත්තේ කොවිඩ් කාර්ය සාධන බලකායේද එකගතාවය මතය. පොදු ප්‍රවාහන පද්ධතිය ක්‍රියාත්මක නොවන බැවින් සේවයට කැදවීම් ලබන්නේ පුද්ගලික වාහනවලිනි. නැතිනම් ආයතන විසින් යොදවා ඇති වාහනවලිනි. ලක්ෂ තුනක් වෙනදාට කොළඹට ඇදී එන වාහන ගණන පොදු ප්‍රවාහනය නැතත් 50000 දක්වා අඩුවී ඇත්තේ අත්‍යවශ්‍ය අය පමණක් කොළඹට එන නිසාය. ඉතා සුළු පිරිසක් හැරුණු කොට වැඩි දෙනෙක් කොළඹට එන්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් ආයතනවලින් කෙරන කැදවීම්වලට අනුවය.

    එසේ තිබියදීත් පොලීසිය කොළඹට එන වාහන අතර මගින් නතරකරමින් දින කිහිපයක් පුරාවට ස්ටිකර් අලවමින් නාඩගමන් නැටුවේ සංචරණ සීමා නොමැති දිනවල දකින්නටත් නැති අධික වාහන තදබදයන් මාර්ග වල නිර්මාණය කරමිනි. පොලීසිය මේ හිතා මතා ජනාධිපතිවරයාව අපහසුතාවට පත්කර ජනතා විරෝධයක් ඇති කිරීම සදහා මේ දේ කළේදැයි ගැඹුරින් විමර්ශනයට ලක්කල යුතු කාරණාවකි. කෙසේ වෙතත් ජනතා විරෝධය දැඩිව එල්ලවූයේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට බව මෙහිදී අමතක නොකළ යුතුය.

    පොලීසිය කළ මේ ස්ටිකර් සෙල්ලමෙන් පවා පෙනී ගියේ සංචරණ සීමා අස්සේ නිකරුණේ කොළඹට එන්නේ සියයට 05 ක් පමණ පිරිසක් බවය. ඒ සියයට 05 වෙනුවෙන් සමස්ත ජනතාවක්ම පොලීසිය මහ මග පෝලිම්කර එක දිගටම හිරිහැර කළේ ඒ ජනතාවගේ මුවින් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් බැණ වැද්දවීමය.

    එය වෙනම කථාවකි. මුල් දවසේ පොලීසිය ස්ටිකරයක් නැතිව වාහන නවතාගෙන රථාවාහන තදබදයක් නිරිමාණය කර සංගණනයක් කළ බවට සංඛ්‍යා දත්ත ගොන්නක් මාධ්‍යට ඉදිරිපත් කළේය. වාහන 50000 කට වැඩි ප්‍රමාණයක් කොළඹට ඇතුළුවන බව කීවේ ඒ අවස්ථාවේදීය. එම සංගණනය විශ්වාසකළ නොහැකි එකක් බවට සමාජ මාධ්‍යවල විවේචන එල්ලවන විට පොලීසිය ස්ටිකරයක් ගෙන ආවේය. එක් ස්ටිකරයක් වෙනුවෙන් රුපියල් 2.50 ක උපරිම මුදලක් වැය කරමින් කොළඹට එන වාහන වලට ස්ටිකර් අලවන්නට ගත්තේය. දින දෙකක් පුරාවට ස්ටිකර් ඇලවූ පොලීසිය එය නතර කර දෛනික ස්ටිකර් ඇලවීම පැත්තකට දමා සංචරණ සීමා කාලයට ස්ටිකරයක් අලවන්නට යන්නේ පොලීසියේ හිතුමතේටය. ඒ දිගින් දිගටම මාර්ගවල තදබදයන් නිර්මාණය කරමින් ඒ තුළින් මාධ්‍ය සංදර්ශන පවා දමමිනි.

    මේ අලුත් ස්ටිකරය වර්ණ 11 කින් විවිධ වෘත්තීය අවශ්‍යතාවන් වෙන්කර හදුනා ගැනීම සදහා අලවන්නට ගන්නේ ඊයේ (07) ය. සුපුරුදු තදබදය නැවතත් පොලීසිය නිර්මාණය කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය මිරිහානේ පිහිටි නිවසේ සිට ජනාධිපති කාර්යාලයට ගමන් ගන්නා විට වෙනදාට නම් මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවන්නට පොලිස් බලධාරීන් ඉඩ දෙන්නේ නැත. පාරවල් වසා ජනාධිපතිවරයාට මග සකස්කර දෙන්නේ එවන් දෙයක් සිදුවන බව ජනාධිපතිවරයාටද දැනෙන්නට ඉඩක් නොදීය. ජනාධිපතිවරයා ඇතැම් විට සිතන්නේ දැන් මාර්ගයේ රථවාහන තදබදයන් නැතැයි කියාය. එහෙත් ඊයේ පොලීසියේ ස්ටිකර් ඇලවීමෙන් ජනාධිපතිවරයාගේ ගමන් මගෙහිද යම් තදබදයක් නිර්මාණය වී තිබුණේය. තමන් ගමන් ගන්නා වාහනයේ වීදුරු අතරින් මගදෙපස නිරීක්ෂණය කරන ජනාධිපතිවරයාගේ නෙත ඊයේ විශේෂයෙන් ගැටෙන්නේ එම පොලීසියේ ස්ටිකර් ගැසීම හා මාර්ග තදබදයයි.

    ඊයේ දවසේ ජනාධිපතිවරයාගේ පළමු රජකාරිය වන්නේ පොලීසියභාර ඇමතිවරයා වන සරත් වීරසේකර ඇමතීමය. පොලීසිය මේ කරන විහිළුව ගැන දැඩිව වීරසේකර ඇමතිවරයාට ජනාධිපතිවරයා දොස් නැගුවේය. මේ තුළින් සිදුවන්නේ ජනතාව පීඩනයකට ලක්වීමක් යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ වගේ මෝඩ වැඩ නොකර අහඹු පරීක්ෂාවන් කරන ලෙස ඔහු උපදෙස් දුන්නේය.

    යුද්ධය පැවැති කාලයේදී පොලීසිය මේ මෝඩම වැඩේ වාහන පරීක්ෂාවන් සදහා කළේය. බෝම්බ ඇටවූ වාහන සහ ත්‍රස්තවාදීන් අල්ලන්නට මාර්ග බාධක දමාගෙන සිටියේය. ත්‍රස්තවාදී ඒ මාර්ග බාධක මග හැර බෝම්බ සහ ආයුධ රැගෙන ගියේ හරි අපූරුවටය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වූ වහාම ඉවත්කරනු ලැබුවේ එම මාර්ග බාධකයන්ය. ඒ වෙනුවට ඔහු ක්ෂණික මාර්ග බාධක යොදා පරීක්ෂා කිිරීමේ ක්‍රමවේදය හදුන්වා දුන්නේය. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලීසිය භාර ඇමතිවරයාට පෙන්වා දෙන්නේ යුද්ධයට දායකත්වයක් දුන් නිලධාරියෙක් ලෙස එවන් ක්‍රමවේදයක් කරන ලෙසටය. ජනාවට අනවශ්‍ය පීඩාවක් ගෙන නොදෙන ලෙසත් තමා සහ ආණ්ඩුව කෙරෙහි ජනතාව කල කිරීමකට ලක්කරන්නට පොලීසියට ඉඩ නොදෙන ලෙසත් ඇමතිවරයාට කීවේය.

    ඇමතිවරයා නම් කියන්නේ මේ ස්ටිකර් සෙල්ලම ගැන තමාව හරිහැටි පොලීසිය දැනුවත් නොකළ බවකි. හැබැයි පොලීසිය මේ ස්ටිකර් ඇලවීම ගැන රටේ හැම මාධ්‍යක් මගින් රටටම කීවේය. ඇමතිවරයා නොදැන සිටියේ නම් පොලීසිය භාර ප්‍රධානියා ලෙස ඒ ගැන පොලිස් ප්‍රධානීන්ගෙන් විමසීමට තිබුණි. එම විමසීම ඇමතිවරයා විසින් කරන්නේ ජනාධිපතිවරයා ඔහුට ඒ ගැන ලබාදුන් උපදෙසින් පසුවය. ඒ අනුව පොලිස්පතිවරයාත්, ස්ටිකරයේ නිර්මාතෘ යැයි පොලීසියේ නිලධාරීන් කියන බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ ඊට හොද ප්‍රචාරයක් ලබාදුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සිය අමාත්‍යාංශයට කැදෙව්වේය. කියන්නට ඇති සෑම දෙයක්ම එහිදී ඇමතිවරයා ඒ අයට මදි නොකියන්න කීවේය.

    අනතුරුව ඊයේ සවස පොලිස් මූලස්ථානයෙන් නියෝගයක් නිකුත් වන්නේ වාහන වලට ස්ටිකර් ගැසීම අත්හිටුවමිනි. ඒ වෙනුවට උපදෙස් දෙන්නේ ක්ෂණික පරීක්ෂාවන් කිිරීමටය. එයද වාහන දෙක තුනක් එකවර නතරකරගෙන නොව එක් වාහනයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඊළග වාහනය ලෙසිනි. ඒ අනුව අද (08) වාහනවලට අලවන්නට පොලීසිවල සූදානම් කර තිබුණු ස්ටිකර් කිසිදු වාහනයක ඇලවූයේ නැත. පොලිස් ස්ථානාධිපතිවරුන් සැනසුම් සුසුම් හෙලමින් දින ගණනාවකට පසු සාමාන්‍ය සිවිල් පොලිස් රාජකාරියේ යෙදෙන්නට වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිං දෙමිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.