fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2022 වනවිට රටම කොවිඩ් එන්නතෙන් ආවරණය කොට ආර්ථික ප්‍රගතියක් අත්කරගැනීම අරමුණයි -...

    2022 වනවිට රටම කොවිඩ් එන්නතෙන් ආවරණය කොට ආර්ථික ප්‍රගතියක් අත්කරගැනීම අරමුණයි – යුද හමුදාපති

    2021 අවසානයේ වන විට රටම ආවරණය වන පරිදි කොවිඩ් එන්නත ලබාදී 2022 මුල් භාගය වනවිට මෙරට සමස්ත ජනගහනයම කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කිරීම රජයේ අපේක්ෂාව බව කොවිඩ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යූද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ එම ක්‍රියාවලියේදී ශ්‍රම බලකායේ ආර්ථික කුළුණු, ආර්ථික සගයන් සහ සාමාන්‍ය ජනතාවට රට දියුණුව කරා ගෙන යාමට ද ඉඩ සලසමින් රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව බවයි.

    අද පැවැති ශ්‍රි ලංකා ඉන්වෙස්ට්මන් ෆෝරම්- 2021 ආයෝජන සමුළුව අමතමින් හෙතෙම මේ බව සදහන් කළේය. මෙම මස 7-9 දක්වා සම්පූර්ණ මාර්ගගත ( OnLine) ක්‍රමය යටතේ පවත්වන මෙම සමුළුව රටවල් 80 කට අධික ආයෝජනයන් සහ නියෝජිතයන් 5000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයකින් පැවැත්වේ. ආසියාවේ ඔන්ලයින් ක්‍රමය යටතේ පැවැත්වන විශාලතම ආයෝජන සමුළුව ශ්‍රි ලංකා ඉන්වෙස්ට් ෆෝරම් -2021 ආර්ථික සමුළුවයි.

    එහිදී වැඩිදුරටත් සමුළුව අමතමින් යුද හමුදාපතිවරයා මෙම කරුණු ද ඉදිරිපත් කළේය.

    ” පළමු හා දෙවන රැල්ල සාර්ථක ලෙස පාලනය කළ ශ්‍රී ලංකාව මේ වනවිට තුන්වැනි රැල්ල පාලනය කිරීමේ කටයුතු ද සිදුකරමින් පවති. කොවිඩ් වසංගතය සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවේ. එය බරපතළ ලෙස රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති වුවද වසංගතය මර්දනය කරමින්ම, රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට තබාගැනීමටත් ජනතාවගේ ජීවනෝපාය ගොඩනැංවීමටත් ජනාධිපති ගෝඨාභය මහතා නිරන්තරයෙන් නායකත්වය ලබාදෙමින් සිටී.

    අපගේ වසංගත කළමනාකරණ උපායමාර්ග අතරට කර්මාන්ත, කර්මාන්තශාලා, අපනයන ඒජන්සි සහ ජාත්‍යන්තර ව්‍යාපාරවල අඛණ්ඩව කරගෙන යාමට කටයුතු කර ඇත. ඒ සදහා සියළුම සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පූර්වාරක්ෂාවන් සහ ඒ ආශ්‍රිත පහසුකම් ඇති කිරීමට එම ආයතන සේවකයින්ට සහතික වී ඇත.

    කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීම සදහා අප අනුගමනය කරන උපායමාර්ග 5ක් තිබේ. එනම් වසංගතය පැතිරීමේ දාමය බීදදැමීම, ආසාදීතයන්ට ප්‍රතිකාර කරමින් හැකි අයුරින් ජීවිත හානි අවම කිරීම, ඉපැයීම් කිරීමට හා සංචරණ සීමා පැනවීම නිසා සිදුවිය හැකි ප්‍රතිකාර අඩුවිම් හෝ වෙනත් අවශ්‍යතා හිගවීම ආදී දුෂ්කරතා මගහැරවීම, එන්නත්කිරීම මගින් ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරීම, වසංගතය ඇතිවිට මෙන්ම වසංගතය අවසානයෙන් පසුවත් ජීවනෝපාය සහ ආර්ථිකමය ප්‍රගතිය කරා ගෙනයාමට හැකි වන පරිදි ආර්ථිකය කළමනාකරණය සහ වර්ධනය කිරීම යනු එම උපායමාර්ගයන් ය.

    අප වැනි රටවලට මෙවන් වසංගතයක් හමුවේ වුවද ඉතා දීර්ඝ කාලයක් රට වසා තබාගැනීමේ හැකියාවක් නොවේ. එබැවින් වසංගතය පවතින කාලයේ වුවද හැකි සෑම අයුරින්ම රටේ ආර්ථික යාන්ත්‍රණය පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටී. රට පුරා සංචරණ සීමා පනවා තිබෙන කාලයේදී පවා ආර්ථික ක්‍රියාකාරකම් හෝ සංවර්ධන ව්‍යාපෘති අප නවතා දැමුවේ නැත. ඒවා තවදුරටත් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස්, ආරක්ෂිත ක්‍රමවේද මත ක්‍රියාත්මක වේ.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන හෝ යටිතල පහසුකම් ගොඩනැංවීමේ ව්‍යාපෘති කිසිවක් වසංගත කාලය තුළ නවතා නොදැමුණු අතර ඒවා ප්‍රමාද වීමට කිසිසේත් ඉඩ සලසා නැත. එමෙන්ම මෙරට කෘෂිකාර්මික හා අපනයනය ක්ෂේ්ත්‍රය ද කොවිඩ් වසංගතය අතරතුර වුවත් දැඩි සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙළ යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ. රට වටා මුහුදින් ආවරණය වී සිටින ශ්‍රී ලංකාව සමුද්‍ර ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඇති වටිනාකම මැනවින් හදුනාගෙන කටයුතු කරයි. එම නිසා නාවික කටයුතු, ප්‍රතිඅපනයන, අපනයනය, සේවා සැපයුම්, වරාය කටයුතු අඛණ්ඩව සිදුවෙමින් තිබේ. විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ වරාය කටයුතු සාර්ථකව කරගෙන යාමට අප සමත් වී සිටිමු. ශ්‍රී ලංකාව යනු අවස්ථාවලින් පිරි දේශයකි. ඒ නිසාම මෙම සමුළුව ඔස්සේ සම්බන්ධතා වැඩිදියුණු කරමින්, විශ්වසනීය මෙන්ම උපායමාර්ගික ආර්ථික හවුල්කරුවකු
    වී අන්‍යෝන්‍ය ලෙස ප්‍රතිලාභ ලබාගැනීමට එක්වන්නැයි මම ආරාධනා කර සිටිමි”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.