තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPතවත් සන්ධානයක් -සහය කාටද?

    තවත් සන්ධානයක් -සහය කාටද?

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ගේ රැස්වීම පැවැත්වුනේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, වෛද්‍ය රමේෂ් පතිරණ ඇතුළු දිස්ත්‍රික් නායකයෝ මේ සඳහා සහභාගී වූහ.

    ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන මහා මැතිවරණය, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලට තරඟ කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

    නව පක්ෂයේ දේශපාලන මණ්ඩල ව්‍යුහය

    “මේකයි…දැන් අපි ළඟ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. සුදුසු පක්ෂයක් බලල ලියාපදිංචි කරමු. ඊට පස්සේ ඒ වටා අනෙකුත් දේශපාලන පක්ෂ එකතුවේවි.” මුලින්ම කතා කළේ එස්.බීය.

    “අපි මුලින්ම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයක් හදාගමු. දේශපාලන මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හා මන්ත්‍රීවරුන් නොවන අයගෙන් සමන්විත වෙනවා.” ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ කීය.

    “ඔව්.. අපි ජාතික සංවිධායක, ලේකම්,භාණ්ඩාගාරික, කැඳවුම්කරු කියල තනතුරු ව්‍යුහය හදාගමු. ” ඒ ඇමති ප්‍රසන්නය.

    “අපිට දැන් මූලිකම දෙය තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන එක. ඒකට මූලිකත්වය දීල, ජනාධිපතිවරණයෙන් පසුව මේ අලුත් පක්ෂය හා සන්ධානය ගොඩනඟන වැඩේ අතට ගනිමු” අගමැතිවරයා කී විට දිස්ත්‍රික් නායකයෝ අත්පොලසන් දෙමින් සතුට ප්‍රකාශ කළහ.

    සන්ධානගත වෙන්නෙ කොහොමද?

    අනතුරුව ජනාධිපතිවරයාට සහය දක්වන පොහොට්ටුවේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සභාගීත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්විණ.එයද පැවැත්වුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරන නායකයන්ද සහභාගී වූහ.

    “හුඟාක් අය අපෙන් අහනවා, ජනාධිපතිවරයාට සහය දක්වන අපේ අනාගතය ගැන. අපි දැන් ඒ ගැන සාකච්ඡා කළා. අපි අලුත් පක්ෂයක් හදනවා. ඒකට සුදුසු වැඩපිළිවෙල අපි ළඟ තියෙනවා” ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ කීය.
    “අපි සන්ධානගත වෙන්නේ කොහොමද? වෙන් වෙන්ව යනවද?, පක්ෂයක් විදියට යනවද?” ඒ පැනය රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සීතා අරඹේපොළගෙනි.

    “නෑ.. අපි පක්ෂයක් විදියට සන්ධාන ගතවෙනවා. තවත් පක්ෂ අපි වටා එකතු වෙනවා.” එස්.බී පැහැදිලි කළේය.
    “මම පළාත් පාලන මන්ත්‍රීවරුන් හමුවෙන්න රට වටේම ගියා. ඒ හැමතැනදිම ඉල්ලීම ආවේ ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එකයි. ඒ වැඩපිළිවෙල තමයි මේක. අපි ඒ වගකීම ගන්නවා.” ඇමති ප්‍රසන්නද පැහැදිලි කළේය.

    “එතකොට පක්ෂයේ නම මොකද්ද?” තවත් පැනයකි.
    “දැනට නම් කිහිපයක් තියෙනවා. ඝණ පිහිටුවල සුදුසු නමක් දානවා.” ඇමති ප්‍රසන්න යළි කීය.
    ජනාධිපතිවරයාට සහය පළකරමින් ප්‍රාදේශීය මට්ටමින් රැස්වීම් සංවිධානය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ඒ සඳහා මුදල් යොදාගැනීම ගැනද මෙහිදී සාකච්ඡා විය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img