fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙන්වීමකදී මොළය වැඩකරන හැටි

    වෙන්වීමකදී මොළය වැඩකරන හැටි

    මනස හා බැඳුණු මොලයේ ක්‍රියාකාරීත්වය ස්වභාවධර්මයේ මහඟු නිර්මාණයක් වනවා. මිනිසාගේ මෙන්ම සත්වයන්ගේ හැසිරීම් රටා හා ජීව විද්‍යාත්මක පැවැත්ම මොලයේ ක්‍රියාකාරීත්වය මගින් පාලනය වන බව අප දන්නවා. ඒවාගේම තමයි අපට එන සතුට, තරහ, අවේග වගේම විශේෂයෙන්ම මේ දුරස්තවූ ආදරය වැනි ඉතා වැදගත් කරුණුවලදී මොලයේ ක්‍රියාකාරීත්වය කෙබඳුදැයි තවමත් ලෝකයා සොයාබලමින් පවතිනවා. විද්‍යාවේදී මේවා මනින්නට අමාරු ගුණාත්මක දේවල් වුනත් මේ දේවල්කෙනෙක්ගේ චර්යාව හා බැඳි පවතිනවා.

    ඉතින් අද වනවිට ලෝකයේ මේ පිළිබඳව නොයෙකුත් පර්යේෂණ සිදුකරගෙන යනවා. ඒ වගේම බොහෝ පර්යේෂණ කරලත් තියනවා වගේම ඉදිරියටත් කරන්නටත් තිබෙනවා. නමුත් මේ සංකීර්ණ මොලයේ ක්‍රියාකාරීත්වය නම් අධ්‍යයනය කරලා ඉවරයක් කරන්නට නම් බැරිවේවි.

    චිත්‍රපටවල එන ආදර කතා අප කොතෙකුත් දැක තිබෙනවා. රෝමියෝ ජුලියට්, හැරි සහ සැලී වගේ ලෝක ප්‍රසිද්ධ කතාවල වෙන්වීම් වගේම නැවත එක්වීම් මේවායේ ප්‍රධාන සිදුවීම් අතරට එක්වනවා. මේ කතා අවසාන වුනේ “ඉන්පසු සියල්ලෝ සතුටින් ජීවත් වුනා කියලනේ”. ඉතින් මේ කතා දෙස බලද්දී ඇයි මේ කතා හෝ චිත්‍රපටි මිනිස්සු මේ තරම් වැළඳගත්තේ කියලත් අපට හිතෙනවා?

    ඇමෙරිකාවේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මෑතකදී ආදරය හමුවීම හා ආදරය අහිමිවීම පිලිබඳව මොලයේ ක්‍රියාකාරීත්වය විද්‍යාත්මකව යම් තාක් දුරකට විස්තර කිරීමේ අරමුණින් පර්යේෂණ දියත්කොට සොයාගත් ඉතා වැදගත් දේවල් මෑතකදී පලකොට තිබෙනවා.

    ඇත්තටම වෙන්වීමකින් පසුව නැවත හමුවීමේදී අපහු මුල් හමුවු කාලයේ වගේම වේවිද කියලත් කෙනෙකුට හිතෙන්නට පුළුවනි. ඒ වගේම ගිය අය නැවත පැමිණේවි කියලත් සමහරු බලාගෙන සිටිනවා. කාලය ගෙවී යන විට පුද්ගලික සබඳතාවලට සරල විකල්ප දෙකක් තිබෙන බව පැවසෙනවා. ඒවා නම් නඩත්තු කිරීම හෝ නැතිවීමයි.

    සමාජ බැඳීම් පිළිබඳ මොළයේ ඇතිවන තත්වයන් ගවේෂණය කරද්දී ඉහත සඳහන් කළ පර්යේෂකයන් prairie vole කියන මීයන් යොදාගනු ලැබුවා. සෝයි ඩොනල්ඩ්සන්ගේ (Zoe Donaldson) නම් ස්නායු විද්යාඥයෙක් හා ඔහුගේ පිරිස තමයි මේ පර්යේෂණය කළේ. ඉතින් මේ මීයන් දෙදෙනෙකු අතර ඇතිවන සබඳතාවක් අධ්‍යයනය කිරීමට ෆයිබර් ෆොටෝමෙට්රි (fiber photometry) කියන අලුත්ම තාක්ෂනික උපකරණ තමයි ඔවුන් යොදාගත්තේ.

    ෆයිබර් ෆොටෝමෙට්‍රි යනු යම් ජෛව සංවේදකයකට අනුරූප වෙනස්වීම්වලින් පැනනගින ප්‍රතිදීප්තියේ උච්චාවචනයන් ආලෝකය භාවිතා කර හඳුනාගැනීමට සහ මැනීමට භාවිතාකරන දෘශ්‍ය තාක්‍ෂණයක්.

    මියන් අභිප්‍රේරණ සඳහා නියුරෝ ට්‍රාන්ස්මීටරයක් යොදාගත් අතර ඊට මොලයෙ දැක්වූ වෙනස්වීම් ෆයිබර් ෆොටෝමෙට්රි උපකරණය (ආලෝක සඥඥා භාවිතයෙන් මෙම හඳුනාගැනීම් සිදුවනවා) මගින් මනිනු ලැබුවා.

    නියුරෝ ට්‍රාන්ස්මිටරය ලබාදෙන නියුට්‍රෝන මොලයේ ක්‍රියාකාරීත්වය වෙනස්කරන අතරම මීයන්ගේ හැසිරීමත් ඒ හා වෙනස්වන බව පෙනී ගියා. මෙහිදී විද්‍යාඥයන් හඳුණාගන්නට සමත්වුනා සමාජ අභිප්‍රේරණය (social motivation and reward) සඳහා බලපාන මොලයේ (nucleus accumbens) කොටසේ ඊට අනුරූපව ඩොපමින් මට්ටම් වෙනස්වන බව.

    මීයන් ක්‍රියාකාරකමක් කරද්දී ඩෝපමින් අත්‍යවශ්‍ය සාධකයක් බවට නිරීක්ෂණය වුනා. පෙර එකිනෙකාට ආදරයෙන් සම්බන්ධ වූ මීයන් වෙන වෙනම රඳවා විද්‍යාත්මක ඇටවුමක් හරහා ඔවුන්හට අනෙකා සොයායාමේදී හමුවූ බාධක දොරවල් හා අගුල් ඇරගෙන යද්දී මොලයේ පෙර කී කොටසේ ඩොපමින් ශ්‍රාව මට්ටම් ක්ෂණිකව ගලා ඇවිත් වැඩිවූ බව නිරීක්ෂණය වන්නට පටන්ගත් අතර එහිදී ඔවුන් එකිනෙකා සොයාගත් පසු ඔවුන් එකිනෙකා සමඟ හුරතල් වෙමින්, ඔවුන්ගේ නැවත එක්වීමේ සතුට පෙන්නුම් කරනු ලැබුවා.

    පර්යේෂකයන් ඊළඟට සලකා බැලුවේ බිඳුණු බැඳීම් පිළිබඳවයි. ඔවුන් සති හතරක කාලයකට පෙර සම්බන්ධතා ඇතිකරගත් මී ජෝඩු වෙන්කර තැබුවා. සාමාන්‍යයෙන් වෙන්වීමකදී මෙ වගේ කාලයක් වෙන්වීමේ දුක තුනී වීමට ඕනෑ තරම් ප්‍රමාණවත් මෙන්ම අවශ්‍යනම් නව සම්බන්දතා ගොඩනගාගැනීමට උවද මෙවැනි කාලයක් ගතවීම ප්‍රමාණවත් බව විද්‍යාඥයන් ගේ අදහස වුනා.

    ඔන්න ඉතින් මේ පරීක්ෂණය කරගෙන යද්දී වැදගත් දෙයක් පෙනෙන්නට වුනා. පෙර සම්බන්ධතා ඇතිකරගත් ජෝඩු එකිනෙකාට නැවත හමුවීමට සැලැස්වූ විට, මුල් ඩොපමීන් මට්ටම් පෙර මෙන් වැඩිනොවුන බවට මෙහිදී නිරීක්ෂණය වුනා. කාලය විසින් ආශාව මකා දමා ඇති අතර අහිමි වීමෙන් පසු වොල්ස් මියන්ගේ මොළය ඊට අනුවර්තනය වුන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුන බවත්, මෙම ඩොපමින් මට්ටම් ඔවුන්ගේ යලි එක්වූ සහකරුට වගේම වෙනත් ආගන්තුකයනටත් එකසේ සමාන බවටත් නිරීක්ෂණය වුනා.

    ආදරය කරන කෙනෙකු අහිමි වීම ආතති සහගත සහ කම්පිත සිදුවීමක් නේ. ඒ උනත් මෙම පර්යේෂණය මොළයේ ඇදහිය නොහැකි ඔරොත්තු දීමේ හැකියාව ගැන අපට පෙන්වා දෙනවා. “ඇත්ත වශයෙන්ම කැපී පෙනෙන සිදුවීම්වලට අනුවර්තනය වීමට උපකාර වන සහජ පද්ධති අපගේ මොළයේ ක්‍රියාත්මකව පැවතීම ඉතා සුන්දර යැයි මේ සොයාගැනීම පිලිබදව විද්වතුන්ගේ මත පළවුණා.

    අපගේ මොළය උත්සාහ කරන්නේ වෙන්වීමේ අමිහිරි සිදුවීම්වලින් මිදී ඉදිරියට යාමට අපහට උපකාර කිරීමටයි. මෙම සොයාගැනීම කල ඩොනල්ඩ්සන්ගේ කණ්ඩායම බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී මෙම සොයාගැනීම් පදනම් කරගෙන ලෝකයේ ඉදිරි පර්යේෂණ සිදුවෙන්නට අවකාශ ඇති බවත් මිනිසුන් ද අනාගත සායනික අධ්‍යයනයන් වෙත යොමු කර ඒ පිලිබද තවදුරටත් සොයාගැනීමට හැකිවන බව පමණක් නොව ඉන් ඔබ්බටත් ගොස් ශෝකයේ නුසුදුසු ආකාර තවදුරටත් විමර්ශනය කිරීමේ අවකාශ ද ඇති බවයි.

    ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා

    ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ-කාර්මික තාක්ෂණ ආයතනය. සාමාජික, ශ්‍රී ලංකා විද්යාභිවර්ධන සංගමය (SLAAS)/ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය (IPSL)

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා
    ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ-කාර්මික තාක්ෂණ ආයතනය. සාමාජික, ශ්‍රී ලංකා විද්යාභිවර්ධන සංගමය (SLAAS)/ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය (IPSL)

    ඔබේ අදහස් දක්වන්න.