fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ වැස්සෙන් හයක් මරුට -36,000ක් පීඩාවට

    මහ වැස්සෙන් හයක් මරුට -36,000ක් පීඩාවට

    දිවයිනට බලපා ඇති අධික වැසි, තද සුළං සහ මුහුද රළුවීමේ කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් පුද්ගලයන් 6 දෙනකු මියගොස් 11 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ගෙවී ගිය දින 6ක කාලය තුළදී දිස්ත්‍රික් 18කට වැඩිවශයෙන් මෙමගින් වැඩිම හානිය සිදුවූ අතර එම දිස්ත්‍රික්වල පවුල් 9688කට අයත් 35,796 දෙනකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය කියාසිටී.

    ගස් කඩාවැටීම්, නායයාම්, ගංවතුර යනාදිය හේතුවෙන් නිවාස 5කට පූර්ණ හානි සිදුවී නිවාස 1246කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇත.

    ආරක්ෂිත ස්ථාන 4ක පුද්ගලයන් 121 දෙනකු රඳවා සහන සලසන බව ද එම මධ්‍යස්ථානය කීය.

    පවතින කාලගුණ ත්ත්වයෙන් වැඩිම බලපෑම සිදුවී ඇත්‍තේ රත්නපුර, කෑගල්ල, කිලිනොච්චිය, යාපනය, කළුතර, ගම්පහ, කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වලට ය.

    මේ අතර අධික වැස්සෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වන බවය.

    මේ අතර කොළඹ – බදුල්ල සහ බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට ද තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ අද දිනයේ විශේෂ දුම්රිය ද අවලංගු කර ඇති බවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.