fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවේශමෙන්! අවුරුදු උත්සව කාලෙට අනතුරු වැඩියි

    ප්‍රවේශමෙන්! අවුරුදු උත්සව කාලෙට අනතුරු වැඩියි

    එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේද අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි රජය අවධාරණය කරයි.

    එබැවින් එළඹෙන උත්සව සමයේදී මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කිරිමටද මේ වනවිට පියවර ගෙන ඇත.

    මේ අතර උත්සව සමයේ සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණ.

    මෙහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග මහතා පෙන්වා දුන්නේ මුහුණට මුහුණ සිදුවන අනතුරු, ත්‍රී රෝද රථ අනතුරු හා යතුරුපැදි අනතුරුවලින් සිදුවන මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් බරපතළ අනතුරුවලට ලක් වී ඇති පුද්ගලයින් 100%ක් මෙතෙක් සුව ලබා නොමැති බවත්ය.

    ශ්‍රී ලංකාව තුළ සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ අධිවේගී මාර්ගවලින් පිටත බව පෙන්වා දුන් ඒ මහතා එම අනතුරුවලින් දිනකට 10දෙනෙකු පමණ මිය යන බවද සඳහන් කළ අතර එබැවින් මාර්ග අනතුරු අවම කිරීමට අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    උත්සව සමයේදී බස්රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස්රථ හිමියන් සහ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බව මෙහිදී අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටියාය.

    එසේම මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකයක් මේ වන විට පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කර තිබෙන බවත් ඊට ලැබෙන පැමිණිලි සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිලධාරීන් සූදානම් කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.

    මෙහිදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහතා,

    “උත්සව සමයේදි අධිවේගී මාර්ගය භාවිතා කරන වාහන ප්‍රමාණය ලක්ෂ 2 පමණ වේ යැයි ගණන් බලා තිබෙනවා. එහිදී සියලුම අධිවේගී මාර්ගවල මුදල් අයකැමි දොරටු විවෘත කර තැබීමට කටයුතු කරනවා. අධිවේගී මාර්ගවල සිටින මුදල් අයකැමිවරුන්ට පහසුවීම සඳහා මාරු මුදල් රැගෙන එන ලෙස ඉල්ලා සිටිනවා. එමඟින් වාහන තදබදය අවම කර ගත හැකියි. අධිවේගී මාර්ගයේ අනතුරු වළක්වාලීම සඳහා විඩාබර රියදුරන්ට විවේක ගැනීමට ස්ථානයක් සිංහල අලුත් අවුරුද්දට පෙර විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. උත්සව සමයේ අධිවේගී මාර්ගය තුළ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා සියලු රියදුරන් විනය ගරුකව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.”

    අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියා උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි මහතා,

    “අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරුවලින් 56% ක් සිදුවන්නේ රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය නිසයි.
    එම අනතුරුවලින් 35%ක් මරණය හෝ පූර්ණ කාලීන ශරීරාබාධ බව කිව යුතුයි. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර වසර දහතුන තුළ මාර්ග අනතුරු 9,375ක් සිදුව තිබෙනවා. ඒ අතරින් රියදුරන්ගේ නොසැලකිලිමත්භාවයෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව 5292ක් වන අතර එහිදී 66 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර පූර්ණ කාලීන ශරීරාබාධ වූවන් ගණන 637ක් ලෙස වාර්තා වී තිබෙනවා.

    තවද සමීක්ෂණ වාර්තා නිරීක්ෂණ අනුව අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන හේතු තුනක් හඳුනාගෙන තිබෙනවා. ඒ, රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය, රථ වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම හා තුන්වන පාර්ශවයක් නිසා සිදුවන අනතුරු ලෙසයි.”

    දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා මහතා,

    “2024 වර්ෂයේ මේ වන විට අධිවේගී මාර්ගවල මාරක අනතුරු 07ක් සිදුව තිබෙනවා. එය පසුගිය වසර දෙකට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කරන බව කිව යුතුයි. 2022 වසරෙදි අධිවේගී මාර්ගවල මාරක රිය අනතුරු 17ක් සහ 2023 වසරේදි මාරක රිය අනතුරු 04ක් සිදුව තිබෙනවා. එම නිසා උත්සව සමයේදී විනයගරුක රියදුරෙක් ලෙස අනතුරු අවම කර ගැනීමට දායක වෙන ලෙස ඉල්ලා සිටිනවා.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.