fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ඉරිදා ප්‍රහාරයේ අභිරහස් 'සොනික් සොනික්' ගැන ගෝඨාභයගේ හෙළිදරව්ව

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ අභිරහස් ‘සොනික් සොනික්’ ගැන ගෝඨාභයගේ හෙළිදරව්ව

    පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදුවීමෙන් පසුව එම ප්‍රහාරය පිළිබඳ යම් තොරතුරු ලැබී තිබූ බව සැළකෙන ‘සොනික් සොනික්’ නමැති සමාජයේ ආන්දෝලනයට තුඩුදුන් නමක් පිටුපස සැඟවුණු අභිරහස් පුද්ගලයා පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා හෙළිකර තිබේ.

    සමාජය තුළ බෙහෙවින් කතාබහට ලක්වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මතුවූ මෙම අභිරහස් පුද්ගලයා කවුද? පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ‍විමර්ශන කොමිසමට ඔහු විසින් ලබාදී තිබූ සාක්ෂිය සහ අවසන් වාර්තාවේදී ඔහුගේ නම සඳහන් නොවුණේ ඇයිද? යන කරුණු පිළිබඳ විස්තරාත්මකව දක්වා තිබේ.

    මුලදී නීතිපතිවරයා වෙත පවා නොයවන ලෙසට කොමිසම විසින් නිර්දේශ කර තිබූ, සංවේදී සාක්ෂි සටහන් සහිතව, සියලු කොටස් සහිත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාව, එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කොමිසම විසින් භාරදී තිබුණි.

    ‍මෙලෙස පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජයේ, දේශපාලන වේදිකාවේ, මාධ්‍ය, සමාජ මාධ්‍ය සේම ජාත්‍යන්තරයේත් ප්‍රශ්න කිරීමට, සැකයට, විවේචනයට සහ නොමඟ යවනසුළු ප්‍රකාශවලට පාදක වෙමින් කරළියට ආ ‘සොනික් සොනික්’ නමැති අභිරහස් පුද්ගලයාට විවිධ නම්, විවිධ පුද්ගලයන් ආරූඪ කර දෙස් විදෙස් වාර්තා දක්නට හැකිවිය.

    එවැනි වාර්තා අතර, පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එවැන්නක් සිදුවීමට යන බව ඇමැති හරින් ප්‍රනාන්දුගේ පියාට කල් තබා දැනගන්නට ලැබී තිබූ බවට එවකට මාධ්‍ය වාර්තා පළවිය. ප්‍රහාරයෙන් වසර දෙකකට පසුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළිකරන ලද්දේ හෙජ්හොග් නම් මූල්‍ය පුවත් පිළිබඳව අසන ප්‍රශ්නවලට පිළිතුරු සපයන අන්තර්ජාල වැඩසටහනක “සොනික් සොනික් ” නම් ආරූඪ නාමයෙන් පෙනී සිටි ශ්‍රි ලංකාවේ බුද්ධි නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරු බව යැයි ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

    මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කළ කරුණු උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කර තිබුණේ සොනික් සොනික් නමැත්තා රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක බණ්ඩාර නමැත්තකු බව එහි සඳහන් කර තිබූ බවයි.

    එමෙන්ම සොනික් සොනික් යනු පොලිස් පරීක්ෂක බණ්ඩාර බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ද මාධ්‍ය හමුවකදී පවසා තිබුණි.

    මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද පාර්ලිමේන්තුවේදී ‘සොනික් සොනික්’ යන කේතයෙන් හැඳින් වූ පොලිස් පරීක්ෂක බණ්ඩාර රට හැර ගොස් නොමැති බවත් ඔහු තවමත් සේවයේ සිටින බව ද පවසා තිබුණේ ගිය වසරේදී සැප්තැම්බරයේ දීය.

    සොනික් සොනික් නැමැත්තාට සෙනරත් බණ්ඩාර, රංජන් බණ්ඩාර වැනි නම්වලින් ද විවිධ සම්මුඛ සාකච්ඡා යනාදිය මගින් ඇතැම් පුද්ගලයන් හඳුන්වා තිබුණි.

    මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද මීට මාස 6ට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ “සොනික් සොනික් ප්‍රශ්නයත් වහාම විමර්ශනය කළ යුතුයි. ඇත්ත හෙළිදරව් වෙන්න ඕන.” යනුවෙනි.

    කෙසේවෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් පසුගියදා එළිදැක්වූ “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමැති ග්‍රන්ථයේ ‘සොනික් සොනික්’ නමැති ආන්දෝලනයට තුඩුදුන් පුද්ගලයා පිළිබඳව අනාවරණය කර තිබුණේ මේ අයුරිනි.

    “..නමුත් මහජන කතිකාවට වැඩියෙන්ම ලක්වුයේ කොමිෂන් සභාව එතරම් වැදගත් කොට නොසැලකූ සහ ඔවුන්ගේ අවසන් වාර්තාවෙන් එක්කෝ සම්පුර්ණයෙන්ම බැහැර කර තිබූ, නැති නම් ඉතා අල්ප වශයෙන් එහි සඳහන් කර තිබූ කරුණු ය. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එළි දැක්වීමෙන් පසු, මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන මෙවන් කතිකා අතර ප්‍රධාන තැනක් ගත්තේ, සොනික් සොනික් සහ අබු හින්ද් යන කේත නාම භාවිතා කල ඊනියා අභිරහස් පුද්ගලයින්ය. මේ නම් දෙක දැන් සෑම ශ්‍රී ලාංකිකයකුටම හුරුපුරුදුය. සොනික් සොනික් යන නම ජනාධිපති කොමිසම හමුවේ කරන ලද සමහර සාක්ෂි ප්‍රකාශවල ඇතුළත් වුව ද, කොමිසමේ අවසන් වාර්තාවේ මේ නම කිසිසේත්ම දක්නට නොලැබේ. එකල විපක්ෂයේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු වැනි පුද්ගලයන් කර තිබුණේ, සාක්ෂි ප්‍රකාශවලින් මේ නම අහුලාගෙන මුළු රටම නොමඟ යැවීම ය.

    මෙම සොනික් සොනික් කිසිසේත්ම අභිරහස් පුද්ගලයෙකු නොවීය. සොනික් සොනික් යන නම භාවිතා කළ පුද්ගලයා ජනාධිපති කොමිසම හමුවේ පෞද්ගලිකවම පෙනී සිටි අතර අනෙක් සියලුම සාක්ෂිකරුවන් මෙන් ඔහුගෙන් ද කොමිසම හරස් ප්‍රශ්න අසන ලදී. ජනාධිපති කොමිසමේ රහසිගත සාක්ෂි සටහන්වල පිටු 1733 සිට 1764 දක්වා ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ උපපොලිස් පරීක්ෂක පී.එම්.එම්.පෙරේරා වන සොනික් සොනික් විසින් කරන ලද ප්‍රකාශයයි.

    2015 වසරේ සිට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) මතවාදය පැතිරෙන ආකාරය සහ ශ්‍රී ලංකාවට එයින් සිදුවෙන බලපෑම අධ්‍යයනය කිරීමට තමා සම්බන්ධ වූ බව උප පොලිස් පරීක්ෂක පෙරේරා සිය ප්‍රකාශයේ කොමිසමට පැවසීය. තමා ද මුස්ලිම් අන්තවාදියෙකු වශයෙන් පෙනී සිටිමින්, අයිඑස් ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගැනීම සඳහා ඔහු ටෙලිග්‍රෑම් නම් අන්තර්ජාල යෙදවුම භාවිතා කළ බවත්, ටෙලිග්‍රෑම් යෙදවුමේ ඔහුගේ පරිශීලක නාමය සොනික් සොනික් වූ බවත් ඔහු කොමිසමට පැවසීය. කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික අයිඑස් හිතවාදියෙකු වූ ෆස්රූල් රහුමාන් මොහොමඩ් සහරාන් (පොඩි සහරාන්) නැමැත්තෙකු සමඟ සම්බන්ධයක් ඇති කරගන්නා මෙන් තම ප්‍රධානීන්ගෙන් උපදෙස් ලැබුණු බවත්, ඒ අනුව ඔහු 2019 පෙබරවාරි මාසයේ දී ෆස්රූල් සහරාන් සමඟ ටෙලිග්‍රෑම් යෙදවුම හරහා සබඳතා ගොඩනඟා ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. 2019 අප්‍රේල් 22 දා පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින, ෆස්රූල් සහරාන් පෙරේරාට දන්වා තිබුණේ එම ප්‍රහාරය අයිඑස් වැඩක් බවයි. අයිඑස් සංවිධානය තවමත් ප්‍රහාරයේ වගකීම භාර නොගත්තේ මන්දැයි මෙම ෆස්රූල් සහරාන්ගෙන් තමා විමසාසිටියේ මන්දැයි කොමිසම පෙරේරාගෙන් විමසන ලද අතර පෙරේරා එයට පිළිතුරු දෙමින් කීවේ සාමාන්‍යයෙන් අයිඑස් සංවිධානය ඔවුන්ගේ ප්‍රහාරවල වගකීම වහාම භාරගන්නා නමුත්, මේ අවස්ථාවේ දී ප්‍රමාදයක් සිදු වූ බවයි.

    ඊට පසුදා එනම් 2019 අප්‍රේල් 23 වැනි දින ෆස්රුල් සහරාන් පෙරේරා අමතමින් කියා සිටියේ ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරවල වගකීම භාරගැනීමට පෙර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ” බයියත් ” ප්‍රතිඥාවේ වීඩියෝව එනතුරු බලා සිටින බවය. එදිනම නැවත වතාවක් ෆස්රූල් සහරාන් පෙරේරා අමතමින් කියාතිබුනේ, බයියත් උත්සවයේ වීඩියෝව ලැබුණු බවය. එම වීඩියෝව ෆස්රූල් සහරාන් ටෙලිග්‍රෑම් යෙදවුම හරහා තමන්ට ද එවා තිබුණු බව පෙරේරා, කොමිසමට කියා තිබුණේය.

    කොමිසම සිය අවසන් වාර්තාවේ එක් වරක්වත් සොනික් සොනික් ගැන සඳහන් නොකිරීමට හේතුව උපපොලිස් පරීක්ෂක පෙරේරා ලබාදුන් පිළිතුරුවලින් ඔවුන් සෑහීමකට පත් වූ නිසා බව පැහැදිලිය. ලෝකයේ සෑම ඔත්තු සේවාවකම ක්‍රියාකාරීන් අන්තර්ජාලයේ සැරිසරන අතර මෙය සයිබර් යුගයේ බුද්ධි තොරතුරු රැස්කිරීමේ මූලික ක්‍රමයකි. සොනික් සොනික් ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටි එම විභාගය අතරතුර කාදිනල්වරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතාට ද සොනික් සොනික්ගෙන් පැහැදිලි කරගැනීමට වැඩිදුර ප්‍රශ්න තිබුණේ නැත. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 2023 සැප්තැම්බර් 21 වැනි දින පාර්ලිමේන්තුවේ දී පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමින් මේ රටේ අවසන් ත්‍රස්තවාදී ක්‍රියාව මෙය නොවන බැවින් මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේය. බුද්ධි අංශවලට ඉදිරියේදීත් අන්තර්ජාල සම්බන්ධකම් හරහා තොරතුරු රැස්කිරීමට සිදු වන බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ත්‍රස්තවාදීන්ගෙන් තොරතුරු ලබාගත නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

    සොනික් සොනික් ගැන ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහනක් නැතත්, අබු හින්ද් යන නම එම වාර්තාවේ සඳහන් වේ. 2017 වසරේ අග භාගයේ සිට සහරාන් ඉන්දියාවේ සිටි එක්තරා අබු හින්ද් නම් පුද්ගලයෙකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවටත් ඔවුන් දෙමළ භාෂාවෙන් කතා කළ බවටත් මෙම අබු හින්ද් ඔහුගේ දේශනාවල පටිගත කිරීම් සහරාන්ට එවූ බවටත්, සහ්රාන්ගේ බිරිඳ වූ හාඩියා දුන් සාක්ෂිය පිළිබඳව කොමිසම තම වර්තාවේ සඳහන් කර ඇත. අබු හින්ද්ගේ අනන්‍යතාවය ගැන සොයාබලන බව ඇතැම් රහස් පොලිස් නිලධාරීන් ජනාධිපති කොමිසමට පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් කොමිසම පවසා ඇත්තේ “ඒ පරීක්ෂණ ඉදිරියට යා යුතුය” යන්න පමණි. ඉහත කර තිබෙන කෙටි සටහන මිස අබු හින්ද් ගැන වෙනත් කිසිදු සඳහනක් කොමිසමේ නිර්දේශවල ද ඇතුළත් නොවේ. තමිල්නාඩුවේ අන්තවාදී ඉස්ලාම් දේශකයින් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අන්තවාදයට යොමුකිරීම දශක ගණනාවක් මුළුල්ලේ සිදුවෙමින් පවතින දෙයක් බව කවුරුත් දන්නා කරුණකි…” (පිටු -140 සිට 143 දක්වා)

    ගෝඨාභය රාජපක්ෂ මහතා එහි වැඩිදුරටත් මෙසේද පවසා තිබුණි.

    “….නමුත්, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සාකච්ඡාවෙන් තාර්කික චින්තනය මුළුමනින්ම තුරන් වී ඇත. මුස්ලිම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් යෙදවීමට මට ඇති හැකියාව ගැන මගේ විරුද්ධවාදීන් විසින් කරන ලද ප්‍රකාශ සහ මගේ බලය රැක ගැනීම සඳහා කිසිදු මාරාන්තික ගැටුමක් ඇති නොකර මම ජනාධිපති ධුරයෙන් ඉවත් වී ගිය ආකාරය අතර නොගැලපීම, වෛරයෙන් හා ක්‍රෝධයෙන් මුසපත් වූ මගේ විරුද්ධවාදීන්ට අවබෝධ වන්නේ නැත.” (පිටුව 149)

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.