මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, තමිල්නාඩු ධීවර අමාත්‍ය අනිතා රාධා ක්‍රිෂ්ණන් මහතා දුරකතන සංවාදයකදී මෙම ඉල්ලීම කළ බවය.
දෙරට අතර ධීවර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් සීමිත කාලයකට සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වීමට අවසර දෙන්නැයි තමිල්නාඩු ධීවර අමාත්‍යවරයා එම දුරකතන සංවාදයේදී ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේ, මෙරට මුහුදට ඉන්දීය ධීවරයින් ඇතුළු වීම නතර කරන බවට තමිල්නාඩු රජය සහතික වීමෙන් අනතුරුව පමණක් ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කළ හැකි බවයි.
මේ අතර ඉන්දු – ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා යළි ආරම්භ කරන්නැයි ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
අවසන්වරට ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ 2022 වසරේ මාර්තු මාසයේදීයි.
මෙරට මුහුදු සීමාවට දෙවැනි වරටත් ඇතුළු වීම හා GPS උපකරණ භාවිත කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම යන චෝදනා දෙකකට වරදකරුවන් වූ ඉන්දීය ධීවරයින් 5කට අධිකරණය පසුගිය දා සිර දඬුවම් නියම කළේ ය.
ඉන් අනතුරුව තමිල්නාඩුවේ රාමේෂ්වන් ඇතුළු විවිධ ප්‍රදේශවල ධීවරයින් විරෝධතා ආරම්භ කළ අතර යාපනයේ ධීවරයින් පසුගිය සෙනසුරාදා ඉන්දීය මුහුදු සීමාව අසළට ගොස් කලු කොඩි ඔසවා විරෝධතාවක නිරත විය.
වසරේ මුල් මාස දෙක තුළ පමණක් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 88කට හා යාත්‍රා 12ක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය.