fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනතාවට විවෘත රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ ඇමතුම් අංකවලින් හරි අඩක්ම වැඩ නෑ

    ජනතාවට විවෘත රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ ඇමතුම් අංකවලින් හරි අඩක්ම වැඩ නෑ

    රාජ්‍ය ආයතනවල ජනතාව වෙනුවෙන් විවෘත කර ඇති, රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ දුරකථන අංකවලින් හරි අඩක්ම ක්‍රියා විරහිත බවට සමීක්ෂණයකින් අනාරවණය වී තිබේ.

    සමස්ථ දිවයින ම ආවරණය පමණ පරිදි සිදුකළ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.

    එහිදී අනාවරණය වී ඇත්තේ රාජ්‍ය සේවා සඳහා විවෘත කර ඇති දුරකථන අංකවලින් 49%ක්ම ක්‍රියා විරහිත බවයි.

    දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම නිල වෙබ් පිටුවලින් ඉදිරිපත් කර ඇති, ඒවායෙහි ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ දුරකතන අංක පිළිබඳ සොයා බලමින් මෙම සමීක්ෂණය කර ඇත.

    එහිදී සලකා බලා ඇත්තේ අදාල දුරකථන අංක භාවිතයේ පවතින්නේද? අංකය ඇමතීමේදී දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේද? සහ පිළිතුරු සපයන්නේ ද? යන්නයි.

    සමීක්ෂණයට භාජනය කරන ලද දුරකථන අංක 589න් එනම් 286ක්ම ක්‍රියා විරහිත අංක බවට මෙහිදී හෙළි වී තිබේ.

    දුරකථන අංක ක්‍රියාත්මක වුවද පිළිතුරු නොදෙන ප්‍රතිශතය 22%කි.

    දුරකථනයට පිළිතුරු දීමේ ප්‍රතිශතය 29%කි.

    මීට අමතරව ප්‍රාදේශීය සභා 98ක, මහනගර සභා 23ක සහ නගර සභා 36ක ස්ථාවර දුරකථන අංක ද මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන තිබේ.

    එම සමීක්ෂණ ප්‍රතිඵල මගින් රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂමතාව පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දේ.

    “දැන් මේ සමස්තය තුළින් පැහැදිලි වෙන්නේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන මේ රාජ්‍ය ආයතන, ඒවගේම ජනතාවගේ අසීමිත බදු මුදල් ගෙවලා ඔවුන්ට සේවා සැපයීම සඳහා ලබාදී තිබෙන මෙම දුරකථන අංකවල කිසිදු වැදගත්කමක් නෑ. ඒවා තුළින් ඔවුන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව හෝ සේවා ලබා ගැනීමේ හැකියාව ඉතාමත් අඩුමතමක පවතින්නේ. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වර්ධනය කරන්න නම් ජනතාවට යෙදුළින් සේවා ලබාදෙන තත්ත්වයක් දක්වා අය පරිවර්තනය කරන්නට නම් අපට සිද්ධ වෙනවා මේ වගේ දේවල් විශේෂයෙන් සැලකිල්ලට ලක්කරලා කටයුතු කරන්න.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.