fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"අපි නැතුව වෙන කණ්ඩායමක් බලයට ආවොත් එක්කෝ මාස 3යි නැත්නම් 6යි" (📹)

    “අපි නැතුව වෙන කණ්ඩායමක් බලයට ආවොත් එක්කෝ මාස 3යි නැත්නම් 6යි” (📹)

    ඉදිරි මැතිවරණවලදී තම දේශපාලන කණ්ඩායමට සහය නොදී වෙනත් කණ්ඩායමක් ජයග්‍රහණය කරවූවොත්, බොරු කියා බලයට පැමිණෙන කණ්ඩායම් මාස 3කින් හෝ 6කින් අනිවාර්යයෙන්ම ජනතාව විසින් ගල්ගසා එළවා දමනු ඇති බව නව සන්ධානයේ නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී  නිමල් ලාන්සා මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායකටත්, සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාටත්, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටත් අවශ්‍යව ඇත්තේ බලය ලබාගැනීමට නොව, විපක්ෂ‍ නායකකම පමණක් බව ය.

    “ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාවෙන් කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරුවේ පැවති නව සන්ධානයේ දෙවන ජන රැළිය අද අමතිමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

    “මේ රට හදන්න නම් රට හදන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕන. අවුරුදු 70ක්ම අපේ අය පොරොන්දුවලට අහුවුනා. රැල්ලට ගියා වගේ මේ අවුරුදු 5ත් රැල්ලට ගියොත් රැල්ල ඇවිල්ල රැල්ල යයි. වැල්ල එහෙමම තියෙයි නේ. ඒ නිසා කල්පනා කරන්න බොරු රැලිවලට අහුවෙන්න එපා. එක එක කාලවලට එක එක රැළි එනවා. ඒ රැලිවලට අහුවෙන්න එපා. තමුන්නාන්සේලා අවංකවම තමුන්නාන්සේලාගේ පපුව තුළින් හිතලා බලන්න, මේ රට ගොඩගන්න පුළුවන් කාටද කියන එක. ඇයි හාමුදුරුවනේ මේගොල්ලෝ රට හදන එක ගැන කියනවා හැබැයි වැඩ පිළිවෙලක් නෑ. මම තමුන්නාන්සේලාට එකම එක පණිවිඩයයි දෙන්නේ. මේ සන්ධානය තුළ අපි වැඩපිළිවෙළක් එක්ක යන්නේ. අපි බොරු කියන්නෙ නෑ. ඇත්ත කියන්නේ. අපි යථාර්ථය මිනිස්සුන්ට අවබෝධ කරලා දෙනවා. හැබැයි මිනිස්සු අපිට ජයග්‍රහණය දෙන්නේ නැතුව වෙන කණ්ඩායමක් ගෙනාවත් මාස 3යි 6යි. ලියල තියාගන්න. මිනිස්සු ගල් ගහලා එලවනවා බොරු කියලා බලයට ආවොත්. මොකද ඒකේ පූර්වාදර්ශයක් තියෙනවා. අනුර කුමාරට ඕනේ නෑ බලයට එන්න විපක්ෂෙටයි එන්න ඕන. හැමදාම විරෝධතා දක්වන්න. සජිත්ට ඕනෙත් නෑ. ඒකනේ වැඩපිළිවෙළ කියන්නේ නැත්තේ. නාමල් රාජපක්ෂ මැතිතුමාටත් ඕනේ විපක්ෂ නායක වෙන්න. දැන් විපක්ෂ නායකට හැප්පෙනවා අනුර කුමාරයි, සජිත් ප්‍රේමදාසයි, නාමල් රාජපක්ෂ මහත්තයයි විපක්ෂ නායක වෙන්න. මේගොල්ලන්ට බලය ගන්න ඕනෙ නම්, ජනාධිපති අගමැති වෙන්න ඕනේ නම් වැඩපිළිවෙළ කියන්න ඕනේ සල්ලි කොහෙන්ද හොයන්නේ වියදම කොහොමද අඩුකරන්නේ?. මේගොල්ලා් තමන්ගේ දේශපාලන මණ්ඩල තුළ පැහැදිලිව කතාකරලා තියෙනවා අපිට බහුතර විපක්ෂයක් ගත්තම ඇති මොකද මේ තියෙන රට අපි ගත්තොත් ගුටිකන්න වෙන්නේ, ඒ නිසා ඕනෙ කෙනෙක් කරපුදෙන් අපි විරෝධතා දක්වගෙන ඉන්නවා කියලා. ඒ අයට බලයට එන්න ඕනේ නෑ.”

    මෙම වැඩපිළිවෙළට සහය දක්වමින් රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, හිටපු නගරාධිපතිවරුන්, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් 58 ක් එක්වූ බව නව සන්ධානය කියයි.

    නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

    ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීය සමිති 38 කට අයත් සාමාජිකයින්, අනුබද්ධ සංවිධාන 19 ක්, ආධාරකරුවන් මෙම අවස්ථාවට සහභාගී විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.