fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාඨලී ජනපති හමුවෙයි

    පාඨලී ජනපති හමුවෙයි

    රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අනෙකුත් දේශපාලන පක්ෂවල සියලු සාධනීය යෝජනා එක් කරගැනීමට තමා පසුබට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාට පවසා තිබේ.

    ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ “දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපතිට පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදුකල අවස්ථාවේදී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු එක්සත් ජනරජ පෙරමුණේ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි.

    ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පැවසීය.

    දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය.

    විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබීය.

    මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.