ශ්‍රී ලංකාව විසින් තම වරායක නවතා තැබීම ප්‍රතික්ෂේප කරන ලද, ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාවට පැමිණීමට මාලදිවයින අවසර ලබා දී ඇති නමුත් එය කිසිදු “පර්යේෂණයක්” සිදු නොකරන බව මාලදිවයින් විදේශ අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළ බව චීන මාධ්‍ය වාර්තා කරයි.
මැරීන් ට්‍රැෆික් නැව් අධීක්ෂණ වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාව විසින් සිය වරාය ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන ලද චීනයේ ෂියැන්ග් යැං හොංග්-3 නෞකාව පෙබරවාරි මස මුලදී මාලේ වෙත පැමිණීමට නියමිතය.
මාලේ හි විදේශ අමාත්‍යාංශය පැවසුවේ මෙම නෞකාව කිසිදු ‘පර්යේෂණයක්’ සිදු නොකරන බවත් නැවත සැපයුම් සඳහා පමණක් නතර වන බවය.
මාලදිවයින් ජනාධිපති මුයිසු විසින් තම දිවයිනට යොදවා සිටි සිය හමුදා වහා ඉවත් කරගන්නා ලෙස ඉන්දියාවට නියෝග කිරීමෙන් පසු මාලදිවයින සහ ඉන්දියාව අතර සබඳතා බිඳ වැටී ඇත.
මේ අතර කිසිදු චීන පර්යේෂණ නෞකාවකට වසරක කාලයක් තම වරායේ නවතා තැබීමට හෝ මෙරට සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට දන්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය.
එම මාධ්‍ය වාර්තා කළේ 2023 ජුලි 21 වන දින පැවති රැස්වීමකදී ඉන්දීය උපායමාර්ගික සහ ආරක්ෂක අවශ්‍යතාවලට ගරු කරන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීම මෙම පියවරට සමීපතම හේතුව විය හැකි බවයි.
මෙම ප්‍රකාශිත තහනම පිළිබඳ පසුගිය සතියේ දී දෙරටේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා ඉන්දියාවට දන්වා ඇති බව නිර්නාමික මුලාශ්‍ර උපුටා දක්වන ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙයින් අදහස් කරන්නේ මේ මස 5 වැනිදා සිට මැයි අග දක්වා දකුණු ඉන්දියන් සාගරයේ “ගැඹුරු ජල ගවේෂණය” සිදු කිරීමට නියමිතව තිබූ චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන ෂියැන්ග් යැං හොංග් -3 යාත්‍රාවට ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවසරය ලබා නොදෙන බවයි.
ටොන් 4,600ක් බරැති මෙම නෞකාවට මාලේ වෙරළට ඔබ්බෙන් මුහුදේ සිට සමීක්ෂණයක් කිරීමට ඉඩ දෙන ලෙස චීනය විසින් මාලදිවයිනේ මොහොමඩ් මුයිසු පාලනයෙන් ඉල්ලා තිබේ. ඉන්දියාව පවසන්නේ මොහොමඩ් මුයිසු බීජිං ගැති පාලකයන් බවයි.
මෙම වසරේ, චීන නාවික හමුදාවේ යුධ නැව්, සබ්මැරීන, බැලිස්ටික් මිසයිල ට්‍රැකර් සහ පර්යේෂණ යාත්‍රා ඇතුළුව අවම වශයෙන් චීන නැව් 25ක් ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාත්මක වූ බව ඉන්දීය වාර්තා කියයි.
එය ඉන්දියාවේ සහ අමෙරිකාවේ කෝපයට හේතු විය.
2019 සිට, ඉන්දීය සාගර කලාපයේ මුළු චීන විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා 48 ක් යොදවා ඇති ව ඉන්දීය වාර්තාවේ දැක්වේ.
ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ප්‍රදේශය වූයේ ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන් ආසන්නයේ සහ ගැඹුරු ඉන්දියන් සාගරයේ ය.