අම්පාර – සියඹලාදූව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය ගල්මඩුව ප්‍රදේශයෙන් සීමා කර තිබේ.
ඒ ගංවතුර තත්ත්වයක් හේතුවෙනි
අම්පාර ඉගිනියාගල සේනානායක සමුද්‍රය ද වාන් දැමීමට පටන්ගැනීමත් සමග ගල්ඔය පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර – ඉගිනියාගල ප්‍රධාන මාර්ගය සුදුවැල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇත.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවල ජනතාව සහ ඒ හරහා ගමන් කරන රථ වාහන රියදුරන් මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු විය යුතු බවයි.
මේ අතර හිගුරක්ගොඩ මින්නේරිය ප්‍රදේශයේ නිවසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් 23 හැවිරිදි එක් දරු මවක මියගොස් ඇයගේ ස්වාමි පුරුෂයා සහ අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවා ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.
හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණයත් සමග නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.
මේ අතර පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිගින් දිගටම එම දිස්ත්‍රික්කය සදහා වර්ෂාපතය ලැබීමත් සමග මේ වන විට හදුනාගත් නායයෑම් ස්ථානවලට අමතරව තවත් ප්‍රදේශ රැසක නායයෑමේ සලකුණු පෙන්නුම් කරන බව එම මධ්‍යස්ථානය කීය.
මේ හේතුවෙන් ජනතාව වඩාත් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව දැනුම් දෙයි.
පසුගියදා නායයාමෙන් අවහිර වී ඇති බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ පස් ඉවත් කිරීමේ කටයුතු අද යළිත් ආරම්භ කරන කර තිබේ.
අනුරාධපුරයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එරුවැව ගම්මානයට පිවිසෙන සියලු මාර්ග ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් දිවයිනට බලපා ඇති වර්ෂාපතන තත්ත්වයේ අද සිට යම් අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කරයි.