fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඉස්කෝලේ පන්තියට ලෝක කුසලානයක් ගෙනා මහින්දෙ හිවින් දිල්මිත්

    ඉස්කෝලේ පන්තියට ලෝක කුසලානයක් ගෙනා මහින්දෙ හිවින් දිල්මිත්

    සුන්දර නිහතමානි ද මැල් ලියු මහින්ද‍ෙ තමයි ඉස්කෝලෙ ග්‍රන්ථය එළිදැක්වූ දා පටන් බොහෝ දෙනෙක් ආ… මහින්දෙ තමයි ඉස්කෝලෙ යැයි කියන්නට ගත්හ. එදා පොත් එළිදැක්වීමේ උත්සවයේ පටන්ම තමන්ගෙ ඉස්කෝලෙ තමයි ඉස්කෝලෙ කියන සංවාදයක් ඇතිවීම නිසා එය බොහෝ පාසල් ප්‍රේමීන් අතර ජනප්‍රිය සංවාදයක් විය.

    මහින්දෙ තමයි ඉස්කෝලෙ පොතේ ඇත්තේ හුදෙක් කතුවරයාට අදාළ පාසල් කාලයේ මතක වුවද, තවත් වරෙක එවැනිම ග්‍රන්ථයක් මහින්දයීයකු අතින් ලියැවේ නම් ඊට ඇතුළත් කළ හැකි බොහෝ වාර්තා හා පාසල් මතක රැසක් මහින්දය තුළ මෑතක දී සිදුවෙමින් තිබේ.

    1946 අවුරුද්දේ මහින්ද විද්‍යාලයේ එච්.එස්.සී පන්තියේ සිටි කේ.ජී.ඒ නන්දදාස (මහාචාර්ය නන්දදාස කෝදාගොඩ) උසස් පෙළ විභාගයේ දී නොබිදෙන වාර්තාවක් තබමින් පළමුවැනියා විය.

    ඒ භෞතික විද්‍යාව,රසායන විද්‍යාව,උද්භිද විද්‍යාව හා සත්ව විද්‍යාව විෂයයන්ට මුළු ලකුණු 400න් ලකුණු 396ක් ලබා ගනිමිනි.

    1973 දි නිහාල් සෝමරත්න (ආචාර්ය නිහාල් සෝමරත්න) උසස් පෙළ ගණිත අංශයෙන් ව්‍යවහාරික ගණිතය,ශුද්ධ ගණිතය,භෞතික විද්‍යාව විෂයන් තුනටම සියයෙන් සියය ලබා රසායන විද්‍යාවට ලකුණු 85 ලබාගනිමින් දිවයිනේ පළමුතැනට පත්වූයේ ගණිත අංශයේ සුවිශේෂී වාර්තාවක් තබමිණි.

    එදා මෙදා තුර විවිධ විෂය ධාරාවලින් උසස් පෙළ සමස්ත ලංකා පළමු දෙවැනි තෙවැනි තැන් මෙන්ම දසවැනි තැන දක්වා තරගකාරී ස්ථාන රැසක් දිනාගත් බොහෝ මහින්දීයෝ ඉතිහාසයේ වෙති. ඒ අතරට තවත් අලුත් වාර්තාවක් පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ගණිත අංශයෙන් ලංකාවේ සිවු වැනියා බවට පත් වූ සඳරු සත්සර බාලහේවාගේ එක් කළේය.

    සඳරු ලංකාවේ පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයෙන් මෙන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ලංකාවේ පළමුවැනියා වෙමින් උසස් පෙළ විභාගයේ දී ලංකාවේ සිවුවැනියා වීමට වරම් උදාකර ගත් දක්ෂයෙකි. සඳරු තැබූ වාර්තාවේ ප්‍රතිඵල උණුසුම යන්නට මත්තෙන් පසුගිය 03වැනිදා මහින්ද විද්‍යාලයට තවත් සුවිශේෂී ලෝක ජයග්‍රහණයක් ලැබුණි. ඒ ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව හිමිකර ගැනීමට මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත් සිසුවා සමත්වීමයි.

    තායිලන්තයේ ට්‍රැඩ් නුවර පසුගිය 01 දා සිට 03 වැනිදා දක්වා පැවති මෙම තරගාවලියට රටවල් 17ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 142ක් සහභාගි වූහ. ඒ අතරින් ලෝක ශූරතාවට හිමිකම් කීවේ මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත්ය.

    තවමත් 16 හැවරිදි වියේ පසුවන හිවින් දිල්මිත් පිළිගැනීමේ උත්සවයක් මහින්ද විද්‍යාලයේ දී අද(07) පැවැත්විණි. විදුහල්පති රුසිර මද්දුමහේවගේ මහතා ගේ උපදෙස් පරිදි ළමයින්ගේ අත්පොලසන් මැද හිවින් දිල්මිත් සිසුවා විද්‍යාලයට පිළිගෙන උදෑසන රැස්වීම පවත්වා ඔහුට ඔහුගේ ජයග්‍රහණය ගැන අදහස් පළ කිරීමට ද අවස්ථාව සළසා තිබිණි.

    මෙම උත්සවයේ අපූරු කතා කිහිපයක් ද සැඟව තිබිණි. ලෝක ශුරතාවට අමතරව හිවින්ට තවත් ඇගයිම් කුසලානයක් ද හිමිව තිබීම නිසා, පාසලට එම ලෝක ශූරතා කුසලානය ගෙන ඒම භාර වූයේ කනිෂ්ඨ මහින්දයීයන් දෙදෙනෙකුටය. කිලෝ 8කට අධික බරකින් යුතු මෙම කුසලානය ඔසවා ගෙන ඒම ඔවුන්ට බැරෑරුම් කාර්යයක් වූයේය.

    අනෙක් කාරණය වූයේ උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ බාලහේවා සිසුවාට මෙන්ම හිවින්ටත් විද්‍යාලයීය විශේෂ සමරු සටහන් ග්‍රන්ථයේ අකුරු කිරීමට වාසනාව උදා විය. අනතුරුව ඔහුව පිළිගැනීමට දෙපස සිටියේ ඔහුගේම ශ්‍රේණියේ මිතුරන්ය. මිතුරන්ගේ අත්පොළසන් මැද හිවින් ලෝක ශූරතාව ගෙන ගියේ ඔහු දැනට පාසලේ ඉගෙනුම ලබන 11-බී පන්තියටය.

    ලෝක ශූරතාවක් ඉස්කෝලෙ පන්තියට ගෙනා හිවින්ට සිය සොහොයුරන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. සිය පන්තිකාමරයේ දී ම හිවින් දිල්මිත් ඒ සතුට සිය දෙමාපියන්.ගුරුවරුන් හා ආදරණීය මිතුරෝ සමඟ එක්ව සැමරූහ. සතුටු කඳුලු වැගිරූහ.

    අප නම් පාසල් ගොස් හමාරය. එහෙත් පාසල් යන ඔබටත් ඔබේ මිතුරන්ටත් තවමත් මෙවැනි ජයග්‍රහණ සඳහා අවස්ථාව තිබේ. අප ප්‍රාර්ථනා කරන්නේ ඔබටත් ඔබේ පාසලේ පන්තිකාමරයට මෙවැනි ලෝක කුසලානයක් රැගෙන ඒමට වරම් උදාවේවා! යන්නයි. ඒ සඳහා ඔබ කුමන පාසලේ වුවද කම් නැත.

     

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.