fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ළඟටම ගිය ඇෆ්ගනිස්ථානය ඈතට විසිවෙයි - ලංකාව සුපිරි වටයට

    ළඟටම ගිය ඇෆ්ගනිස්ථානය ඈතට විසිවෙයි – ලංකාව සුපිරි වටයට

    ආසියානු කුසලානය 2023 තරගාවලිය යටතේ සුපිරි 4 වටයට තේරීමට පැවැති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා ලකුණු 2ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(05) සමත් විය.

    පාකිස්ථානයේ ලාහෝර් හි පැවැති මෙම තරගයෙන් පරතරයක් ඇතිව ජයගතහොත් සුපිරි 4 දෙනාගේ වටයට යාමට ඇෆ්ගනිස්ථානයට අවස්ථාව තිබූ අතර එම ඉලක්කයට ආසන්න වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් මොහොතේ ලකුණු දෙකකින් ශ්‍රී ලංකාවට පරාජයට පත්විය.

    පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවි ලකුණු 291ක් ලබා ගත් අතර, සුපිරි 4 දෙනාගේ වටයට යාමට නම් පන්දුවාර 37.1කදී ඇෆ්ගනිස්ථානය ලකුණු 292ක් ලබාගත යුතුව තිබිණි.

    ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 84කදී ලකුණු 92ක් ලබාගත් කුසල් මෙන්ඩිස් ය. පැතුම් නිශ්ශංක ලකුණු 41ක්,දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 33ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 32කින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

    ඇෆ්ගනිස්ථානයට තරගය ජය පෙනෙන මානයට ගෙනා මොහොමඩ් නබි පන්දු තිස් දෙකකදි ලකුණු 65ක්, නායක හෂ්මුල්ලා ෂහිඩි පන්දු හැට හයකදී ලකුණු 59ක් රමත් ෂා පන්දු හතළිහක දී ලකුණු 45ක් ලබා ගත්හ. අවසන් මොහොත දක්වා සටන අත්නොහැරි රෂිඩ් කාන් පන්දු දහසයකදි ලකුණු 27ක් ලබා නොදැවි ක්‍රීඩා කළේය.

    තිස් හයවැනි පන්දුවාරය අවසානයේ ඇෆ්ගනිස්ථානය කඩුලු දෙකක් ඇතැතිව ලකුණු 3ක් ඈතින් සිටි අතර, සුපිරි 4 වටයට යාමට එක් පන්දුවක දි ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 3කි. එහෙත් පන්දුව අතට ගත් ධනංජය ද සිල්වා දඩයක්කරුවකු විලස එම පන්දුවේ දී ම ඇෆ්ගනිස්ථානයේ 9වැනි කඩුල්ල මුජීබ් රහමන් දවා ගත්තේය.

    එසේ වුවද සුපිරි 4 වටයට යාමට ඇෆ්ගනිස්ථානයට තවත් අවස්ථාවක් තිබූ අතර 37.4 වනවිට ලකුණු 295ක් ලබා ගැනිම එම ඉලක්කයයි. පන්දු තුනක් තුළ එක් 6 පහරක් එල්ල වූයේ නම් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය සමඟ සුපිරි 4ට යාමට ඉඩ තිබිණි.

    ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ අදහස්වලට අනුව එවැනි තවත් අවස්ථාවක් තිබෙන බව ඇෆ්ගනිස්ථාන පිතිකරුවෝ දැන නොසිටියහ. ඒ අනුව 37වැනි පන්දුවාරයේ දෙවැනි හා තෙවැනි පන්දුවලට ලකුණක් ලබා ගැනිමට අපොහොසත් වූ ෆසාල්හක් ෆාරුක් සිවු වැනි පන්දුවට කඩුල්ල මුවා කිරිමේ වරදට අසුව ඇෆ්ලන් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.

    තරගය ජය ගැනීමට පන්දුවාර 12කට වැඩි සංඛ්‍යාවක් ඉතිරිව තිබිය දි සුපිරි 4 වටයට යාමේ ඉලක්කයට පමණක් සීමා වෙමින් ඇෆ්ගනිස්ථානය මෙම තරගය නිමා කිරීම විශේෂත්වයකි.

    කසුන් රාජිත කඩුලු 4ක් දවාගත් අතර දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් දවාගත්හ.

    ඒ අනුව පසුගිය වර ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සමඟ සුපිරි 4 දෙනාගේ වටයට අද සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව නේපාලය සහ ඇෆ්ගනිස්ථානයට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

    තරගයේ විරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමිවිය.

    ශ්‍රී ලංකාව 291/8 (50)
    ඇෆ්ගනිස්ථානය 289/10 (37.4)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.