fbpx
තවත්
    මුල් පිටුවරැල්ලජනපති ෆේල් වුණාම ජනතාව පාස් වුණාද ?

    ජනපති ෆේල් වුණාම ජනතාව පාස් වුණාද ?

    සියලුදෙනා සමත් වූ හෝ සියලු දෙනා අසමත් වූ රාජ්‍යකට මෙහිපිට උදාහරණ නැත. පාසල්ගිය ළමුන්ට තේරෙන විධියට නම් පංතියක ළමුන්ගෙන් ඇතමෙක් සමත් වෙද්දී තවකෙක් අසමත්වෙති.

    සමත් අසමත් කතාව වර්තමානයට වඩා සමීප වී ඇත්තේ පාස් ෆේල් ලෙසය. ජනපති ගෝඨාභය අසමත්ය. නැතිනම් ෆේල් යැයි කීමට පළමු වෙඩි මුරය පත්තු කළේ විපක්ෂයේ දේශපාලන මෙහෙයුමක් විධියටය.

    මිලියන ගණන් මුදල් වියදම් කරමින් සකස් කළ මෙම ප්‍රචාරක විධික්‍රමයට වත්මන් ආණ්ඩුවට විරුද්ධ බොහෝ දෙනෙක් අනුග්‍රහය දැක්වූහ. දේශීය ව්‍යාපාරිකයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, විදෙස් තානාපති කාර්යාලවල අනුග්‍රහයන් ලබන කණ්ඩායම් ඊට නොමසුරුව දායක වූවෝය.

    ජනපති ගෝඨාභය රාජපක්ෂ ෆේල් යැයි කීමට ජනපතිධුරයෙන් දෙවසරක් ගතවීමට පෙර මෙසේ පෙරමුණට ආ පිරිස ඇත්තටම අපේ මහජනතාවට හෝ රටට ආදරය නිසා එසේ කළේ නම් මෑත පේන මානයක ජනතාව අදහන යම් විකල්පයක් දැක එසේ කළ යුතුය. නරියා මිදි කඩන්න උඩ පැන්නත්, කඩා ගන්න බැරි මිදි නරියාගේ විග්‍රහයට අනුව තිත්තය. ඒ වගේම ජනපති ගෝඨාභය මේ තරමින් හෝ සුරක්ෂිත රටක් නිර්මාණය කර ඇතිබව පිළිගන්නට අකමැති පිරිස මේ කියන්නේ නරියාගේ කතාවය.

    මිදි කඩන්නට මෙන් විපක්ෂයට අද අවශ්‍යව ඇත්තේ ආණ්ඩු බලය උදුරා ගැනීමය. ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකරන විපක්ෂයක් හැමවිටම මේ ආකාරයෙන් කල්පනා කිරීම අහම්භයක් නොවේ. එදා පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු කිසිවක් තුට්ටුවකට මායිම් නොකළ රජයක් මෙවන් ව්‍යවසන අවස්ථාව සමත් ලෙස කටයුතු කරන්නේ යැයි සිතනවානම් එය හිතළුවකි.

    එදා 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මිනිස් ජීවිත 274ක් අහිමිවී තවත් 596ක් තුවාල වුයේ මුළු ලොවටම බලපෑ මෙවන් ව්‍යවසනයකින් නොව එකල ආණ්ඩුවේ පැවති අකාර්යක්ෂම පාලනය නිසා බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. රටට යහපාලනය ගෙන එන බවට පාරම් බෑ ඔවුන් මහ දවල් මහ බැංකුවම මංකොල්ල කෑවේය.

    මිනිසුන්ට මේවා අමතක කිරීමට විපක්ෂය තමන්ගේ ප්‍රචාරක ආයුධය දැන් අතට ගෙන ඇත්තේය. ඒ කුමන හෝ ක්‍රියාමාර්ගයකින් ආණ්ඩුව අකාර්මරණය කිරීමට විනා ආණ්ඩු බලය දිනා ගැනීමේ පරම අටියෙන්ම නොවේ. විපක්ෂයට ආණ්ඩු බලය අවශ්‍ය නැති ද ? අවශ්‍යයි නමුත් ඔවුන්ට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන්ම ගැටලු විසඳාගත් සුරක්ෂිත රටක නැවත ආණ්ඩු බලය දිනා ගැනීමය. එසේ නැතිව ආර්ථිකයට කොවිඩ් ගැසූ කාලයක ආණ්ඩු බලය ලබා ගැනීම නොවේ.

    ලෝකයේ ඇත්ත සහ බොරුව අතරමැද යමක් තිබිය නොහැකිය. එක්කො ඇත්තය. නැතිනම් බොරුය. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට යම් හෝ සහයක් ලබා දෙන එකම රට චීනයයි. දැන් අමෙරිකානු, ඉන්දියානු හවුලත්, යුරෝපා රටවලුත් ඒ වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මකවන බව නොරහසකි. චීනයත් ඒ බව නොදන්නවා නොවේ.

    ආසියානු පර්යේෂණ ආයතනයේ විශේෂඥයකුවන ක්‍රිෂෝර් මහුබානි පසුගියදා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් රටවල් චීනයට ළංවන්නේ ඇයි දැයි පැහැදිලව දක්වා තිබේ. අමෙරිකාව ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් යැයි කියමින් නීති පැනවීමට හෝ රටවල් හිර කර තබා ගැනීමට ප්‍රමුඛත්වය දෙද්දී චීනය ඔවුන්ට රටවල්වලින් විමසන්නේ ඔබට පාළමක්, වරායක්, නගරයක් ඉදිකර දෙන්නම් කියාය. එය වක්‍ර අරමුණු සහිත හො සහිත නොවන වුවද අනෙකුත් රටවල්වලින් අවඩැක් මිස සංවර්ධන දායකත්වයක් කිසිවිටක හිමිවන්නේ නැත.

    ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකන් කාරකයකුයැයි හැඳින්වූ පිරිස් ඒ කටින්ම දැන් චීන හිතෛෂීයකු ලෙස ඔහු හඳුන්වයි. ඇත්ත. ගෝඨාභය රාජපක්ෂ චීන රාජ්‍ය සමඟ සමීප සබඳතාවක් පවත්වන්නේ අද ඊයේ සිට නොවේ. ඒ නිසා උදව්වක් ගැනීමට හැකි එක් ප්‍රබල මිතුරෙකු සිටීම මුවින් සිනාසී පිටුපසින් පිහියෙන් අනින මිතුරන්ට වඩා දහස් ගුණයක් වටින්නේය.

    මෑතකාලයේ විපක්ෂය ඉබ්බා දියේ ඇන්නාවේ මෙන් ඉල්ලා සිටියේ ලොක් ඩවුන්ය. ඔවුන් මෙසේ කොවිඩ් ආසාධිතයන් වෙනුවෙන් හඬ නගනවා මෙන් ලොක් ඩවුන් ඉල්ලන්නේ ජනතාව මහ මගට ඇද දැමීමේ අරමුණ ඇතිවය. ගෝඨාභය මිනිස්සු පාරට ඇදලා දැම්මා යැයි කියන ප්‍රචාරක සැලසුමත් ඒ හා බැඳෙන ආකාරයට දැනටමත් සකස් කර ඇතිවාට සැක නැත.

    එහෙත් රට පාලනය කරන ජනාධිපති ගෝඨාභයට මේ පුස් වෙඩිලි ගැන හිතනවාට වඩා අවශ්‍ය වන්නේ ඒ කාලයත් රටේ සුබ සිද්ධියට යොමු කිරීමය. ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන ජවිපෙ අනුර කුමාර පසුගියදා ලස්සන වචන හෑල්ලක් කීවේය.

    “ආසන්න වශයෙන් මෙම දින තුනට 63කට අධික සංඛ්‍යාවක් මියගොස් තියෙනවා. ඝාතනය වී තිබෙනවා. සෞඛය ප්‍රතිකාරක සේවය අඩපණ වෙමින් තිබෙනවා. ඇඳක් හොයලා දෙන්න බැරිද කියලා ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා.

    සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමහර දිස්ත්‍රික්කවල අකුරට වැඩ කරන්න යනවා. හමුදාවට දෙන ආහාර වේලත් කන්න බෑ.

    සමූහ මිනිස් ඝාතනයක් ඇතිවිය හැකි මට්ටමට මේ තත්ත්වය වර්ධනය වෙලා තියෙනවා. මේකට ජනපති වගකිවයුතුයි. ඔහු කිසිවෙකුට ඇහුම්කම් නොදෙන තක්කඩි ප්‍රවේශයක් ගෙන තිබෙනවා”

    අනුර කුමාර මේ කියන්නේ ජනපති මිනිස්සු ඝාතනය කරනවා වැනි අදහසකි. බලයට ඒමට පෙර සිට හිට්ලර් එනවා යැයි කියමින් අමුඩෙට ගිනි අවුලාගෙන දිවූ අනුර, සජිත් සුසංයෝගයට අවශ්‍ය කුමක්දැයි ඒ වචන වලින්ම පැහැදිලිය.

    කොවිඩ් මරණ රජයේ ඝාතන විධියට ජනගත කරන අනුර කුමාරලා, එදා පාස්කු ප්‍රහාරයෙන් මියගිය 274 දෙනා ඊබ්‍රහිම්ගේ පුතාගෙන් ඝාතනය වූ හෝ මෛත්‍රී-රනිල් රජයෙන් ඝාතනය කළ මිනිස් ජීවිත යැයි කිව්වා ද ? ඇතැම්විට අනුර න්‍යාය අනුව සහරාන් අතින්වත් එහෙම දෙයක් සිදු නොවන්නට ඇත.

    කොවිඩ් 19 වසංගතයේ තෙවැනි රැල්ලට ද රජය මේ වනවිට සාර්ථකව මුහුණ දෙමින් සිටියි. එන්නත්කරණයට වැඩි ප්‍රමුඛතාවක් දෙමින් සංචරණ සීමා පනවමින් සෞඛ්‍ය බලධාරීන්ගේ හඬට ඇහුම්කම් දෙයි. සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය පරිදි එම තීන්දු තීරණ ගැනීමට ඉඩ දී තිබේ. වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සහය වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ලබා ගනිමින් සිටියි. මේ කාර්යක්ෂම පද්ධතිය අකර්මරණය කිරීමට දේශපාලඥයන් කවට කතා කියන්නේ, එහි ප්‍රතිඵලය ඔවුන්ට නොව ජනතාවට ලැබෙන බව දන්නා නිසාය.

    ඒ නිසා ජනපති අසමත්යැයි කියන කතාවලට උඩ ගෙඩි දෙන්නන් සියලු දෙනා සමතුන් නොවන අතර මෙවන් ජනපතිවරයකු අසමත් වනවිට මේ රටත් ජනතාවත් අසමත්වීම වළක්වනු බැරිය.

    දේශපාලන වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.