අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එය වෙනසකට ලක් කළ යුතු නම් ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවත් හෙතෙම කීය.
එමෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බව ද සඳහන් කළේය.
විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
වසර 13ක කාලයක් ළමුන් පාසැල් අධ්‍යාපනයේ රඳවා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදි ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කර ඇත.
ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා කියාසිටී.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.
මෙරට මානව සම්පත පෙළගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව දස දෙනෙකුගෙන් සමන්විත ‘අධ්‍යාපන අමාත්‍ය කමිටුව’ පත් කර තිබේ.
ඊට සහාය වීම සඳහා පත් කර ඇති මෙම විශේෂඥ කමිටුව මගින් පූර්ව ළමාවිය සහ පෙරපාසල් අධ්‍යාපනය, ප්‍රථමික හා ද්විතියීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර 05 ඔස්සේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලා සකස් කරන ලද වාර්තාව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.
එසේම අධ්‍යාපනය තාක්ෂණය සමඟ බද්ධව ඉදිරියට යාමේ අවශ්‍යතාවත්, පාසල් පද්ධතියේ ප්‍රමිතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කළ අතර පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කළේය.
රජයේ සහ පෞද්ගලික පාසල්වලද ගුණාත්මක අධ්‍යාපන තත්ත්වයක් තහවුරු විය යුතු බවත් ඒ සඳහා පරීක්ෂක කාර්යාල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය
“අධ්‍යාපනය ගැන කතා කිරීමට පෙර අපේ දීර්ඝ කාලීන ආර්ථික දර්ශනය පිළිබඳ කථා කළයුතුයි. අධ්‍යාපනය ඊට සමගාමීව ගමන් කරනවා මිස පාරවල් දෙකක යා නොහැකියි. අපි කෙටිකාලීනව උත්සහා කරන්නේ ණය ප්‍රශ්නයෙන් නිදහස් වීමට. ඉන් පසුව රට ඉදිරියට ගෙන යාමට නම් සමස්තයක් ලෙස අවුරුදු තුනකින් පමණ 8% ක 9% ක ආර්ථික වර්ධන වේගයක් ළගා කරගෙන එය අවුරුදු දහයක් වත් පවත්වාගෙන යා යුතුයි. එලෙස කිරීමෙන් පමණයි අපට දියුණුවීමට හැකියාව ලැබෙන්නේ.
ආර්ථික වර්ධන වේගයට බලපාන කරුණු කිහිපයක් තිබෙනවා. නිෂ්පාදන ඉහළ නංවා ගත හැකි නම් එය විශාල දියුණුවක්. එහිදී අපි අවම වශයෙන් මැලේසියාව, චීනය දෙස අවධානය යොමු කළ යුතුයි. ඉන් අනතුරුව සිංගප්පූරුව වැනි විශාල දියුණු තත්ත්වයකට අපට යා හැකියි . එය එක්වර සිදු කළ නොහැකියි.
මේ සඳහා අපට තිබෙන ප්‍රධාන සම්පත මානව සම්පතයි. අද දකුණු කොරියාව, සිංගප්පූරුව, ජපානය දියුණු වෙලා තිබෙන්නේ මිනිස් බලය යෙදවීමෙනුයි. ඉන්දියාවත් බලාපොරොත්තු වෙනවා එම ඉලක්ක කරා ළගා වීමට. අපිත් එතැනට ගමන් කරනේ කොහොමද කියා තීරණය කළ යුතුයි.
ඒ වගේම ඉදිරි වසර 10 තුළ ආසියානු කලාපයේ රටවල අවශ්‍යතා අනුව පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් ඇති වෙනවා. ඊට මුහුණදීම සඳහා ස්වයංක්‍රීයකරණයට අප යොමුවිය යුතුව තිබෙන අතර ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන ගමනේදී දියුණු ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳව ද අපගේ කඩිනම් අවධානය යොමු විය යුතුයි.
ඒ නිසා පළමුව ම අධ්‍යාපනය, ආර්ථික රාමුව, දේශගුණ විපර්යාස, යන ක්ෂේත්‍ර තුන එකට එක් විය යුතුයි. අප තරගකාරී වුවහොත් පමණයි ඉදිරියට යා හැකි වන්නේ. අපේ අරමුණ වන්නේ ඉතාම තරගකාරී ආර්ථිකයක් ගොඩනැගීමයි.”