fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුද්ධි අංශ ප්‍රධානී මීඩින් ඝාතනයටත් ඇල්ලු සිංහල කොටියෙකු බොරැල්ලේදී ඝාතනය කෙරේ

    බුද්ධි අංශ ප්‍රධානී මීඩින් ඝාතනයටත් ඇල්ලු සිංහල කොටියෙකු බොරැල්ලේදී ඝාතනය කෙරේ

    බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී අද අලුයම් කාලයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියේය.

    කැලණියේ පදිංචිකරුවෙක් වන ඝාතනයට ලක්වූ පුද්ගලයා යතුරු පැදියකින් පැමිණ ඔහුගේ මහ ගෙදර ඉදිරිපිට මාර්ගයේ රැදී සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

    යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී 56 අවියකින් මෙම වෙඩි තැබීම කර ඇති බව පොලීසිය කියයි.

    ටී 56 අවියේ පතොරම් ගැබක් අවසන් වන්නට වෙඩි වර්ෂාවක්ම ඔහුට එල්ලකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානය අවට බිම ටී 56 හිස් පතොරම් කොපු 20කට වැඩා ප්‍රමාණයක් තිබී හමුවී ඇත.

    මෙසේ ඝාතනය වී ඇත්තේ අවුරුදු 53ක් වයසැති සංජීව නමැති අයෙකි.

    එල්.ටී.ටී.ඊ.ය.ට සම්බන්ධකමක් පැවති පුවත්පතක් පවා මෙම පුද්ගලයා විසින් 2002 වසරේ සාම ගිවිසුම පැවති වකවානුවේදී සංස්කරණය කර තිබුණි.

    සන්නද්ධ බුද්ධි අංශ ප්‍රධානියෙක් වූ මෙන්ම එල්.ටී.ටී.ඊ.යට එකල ලොකුම හිසරදයක්ව සිටි ලුතිනන් කර්නල් තුවාන් මීඩින් මහතාව 2005 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා නාරාහේන්පිටදී ඝාතනය කිරීමේ විමර්ශනයේදී පවා ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

    එහිදී ඔහුට පැවති එල්.ටී.ටී.ඊ. සම්බන්ධකම් ගැන බොහෝ තොරතුරු හෙළිවිය. එල්.ටී.ටී.ඊ.යෙන් ඔහුට මුදල් ලැබෙන බවත් කොළඹ කොටි ඔත්තුකරුවෙක් ලෙස ඔහු කටයුතුකර ඇති බවත් එකල කියැවිනි.

    දැවැන්ත දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් වූ මෙම පුද්ගලයා කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූවකි.

    මෙම ඝාතනය කුමන අරමුණක් ඇතිව සිදුකලාදැයි පැහැදිලි නැත. මෙම පුද්ගලයා පදිංචිව සිටින්නේ කැලණියේය. මොහු මේ වන විට පිරිසිදු කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇත.

    ඔහුගේ මෙම ආයතනයේ සේවයේ නිරත වැඩි පිරිසක් රැදී සිටින්නේ බොරැල්ලේය. එබැවින් ඔහු දෛනිකව කැලණියේ සිට යතුරුපැදියේ නැගී සේවකයින්ට වැටුප් ගෙවීමටත් ඔවුන්ව ආයතන වෙත යොමු කිරීමටත් අලුයම් කාලයේ බොරැල්ලට පැමිණෙන බව ද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    අද අලුයම 5.30ට පමණ ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වන්නේ මේ අතර තුරදීය.

    මෙම පුද්ගලයා සිය මිතුරෙක් සමඟ එක්ව මහා පරිමාණයේ පිරිසිදු කිරීමේ ආයතනයක්ද ආරම්භකර තිබී ඇත. හවුල්කරු විසින් මෙම පුද්ගලයාට මුදල් වංචාකර ඇති බව ද පැවසේ. ඒ සම්බන්ධයෙන් වූ නඩුවක් අධිකරණයේ විභාග වන බවත් එහි තීන්දුව ඉදිරි දිනක ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත. මෙම පුද්ගලයාගේ මිතුරා යම් හෙයකින් නඩු තීන්දුවට අනුව වැරදිකරුවෙක් වුවහොත් කෝටි ගානක මුදලක් මොහුට ගෙවීමට සිදුවනු ඇති බවටද තොරතුරු ලැබී ඇත. මෙම ඝාතනය හා එම නඩුව අතර යම් සම්බන්ධයක් තිබේදැයි සැකයක් පවා මේ වන විට මතුව ඇත.

    මෙම හැම සිදුවීමක්ම අධ්‍යනයකරමින් පොලීසිය පුළුල් විමර්ශනයක් මේ වන විට සිදුකරමින් සිටී.

    එල්.ටී.ටී.ඊ.ය සමඟ සම්බන්ධකම් පවත්වා ප්‍රභූ ඝාතන සහ හමුදා ප්‍රධානීන් ඝාතනයට ඔත්තු බැලීමේ චෝදනාවකට පවා මෙම පුද්ගලයාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.