fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාංකේය සංගීත කෙත අස්වද්දා නික්ම යන මහාචාර්ය සනත් නන්දසිරි

    ලාංකේය සංගීත කෙත අස්වද්දා නික්ම යන මහාචාර්ය සනත් නන්දසිරි

    ලාංකේය සංගීත කෙත අස්වැද්දූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) දින සිය ජීවන ගීතයට තිත තැබුවේය.

    1942 පෙබරවාරි 15 වැනිදා උපන් ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා මියයනවිට 81වැනි වියෙහි පසුවිය.

    හේරත් මුදියන්සේලා විලියම් පෙරේරා සහ දෝන අමලින් කටුගම්පළ දෙමාපියන් දාව පවුලට එකතු වූ තුන්වැනි දරුවා වූ සනත් නන්දසිරි මහතා ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයේත් ශාන්ත මැතිව් විදුහලෙත් ආදි සිසුවෙකි.

    14 වැනි වියෙහි දි සංගිතයට අත්පොත් තැබූ සනත් නන්දසිරි මහතා පසුව ළමා ශිල්පියෙකු ලෙස ගුවන් විදුලියටත්, 1960 වසරේ දි භාරතයේ භාත්ඛණ්ඩ සංගිත පීඨයට ගොස් සංගීතය හැදැරිමේත් අවස්ථාව හිමිකර ගත්තේය.

    නැවත 1965 දි මෙරටට පැමිණි සනත් නන්දසිරි මහතා ගුවන් විදුලියෙන් ගායන දිවිය ඇරඹූ අතර රජයේ සංගීත විද්‍යාලයට තේරි අම්පාරේ උහන විද්‍යාලයෙන් සිය සංගීත ගුරු උපදේශක දිවිය ද ඇරඹුවේය.

    ඔහුට බිරිඳ මල්කාන්ති පිරිස් ගුවන් විදුලියේ දී ම හමුවන්නේ මේ කාලයේය. ඔවුන් දෙපළගේ ආදරණීය පුතු ඉපදි කෙටි කලකින් මියගිය අතර ඒ අඩුව පිරවූ දියණිය නිශාමනී අනුරාධා සංගිත ක්ෂේත්‍රෙයේම ඉදිරියට පැමිණියාය.

    සුභාවිත සංගීතයත්, සුභාවිත ගීතයටත් එක් බඳුව ම ප්‍රිය කරන ඇසූ පුරුද්ද, දුටු පුරුද්ද, කළ පුරුද්ද, පළපුරුද්ද සතු සූර, වීර, ධීර ගුණ යුතු මේ සත් පුරුෂ කලාකරුවාගේ සදාශ්‍රය අපගේ ජීවිතාවබෝධයට ද පණ පොවන්නකි.

    “සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ මධුර ගායනය ත්‍රිස්ථානශෝභී වෙයි. මන්ද්‍ර, මධ්‍ය, තාර යන ත්‍රිවිධ සප්තකයෙහිම ලැබෙන ස්වරයෙන් මධුරාකාරයෙන් සංකලනය කොට ස්වර සාධනය කිරීමේ ශක්තිය ත්‍රිස්ථානශෝභී ගායන ගුණයයි.

    ඒ ශක්තිය සනත් සතුව පවත්නේය. සනත් නන්දසිරිගේ ලෝකය නාදාත්මක ය. ඒ සුමධුර නාද ප්‍රවාහය තව තවත් ඉස්සර බලනු නියති.” කරු හීනටිගල ද 1997 ප්‍රකාශයට පත් කළ සනත් නන්දසිරි සුළවත් පහන් සර කෘතියට විමල් අභයසුන්දර හැඳින්වීමක් කළේ එලෙස ය.

    සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි, එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා, ඇවිළුුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා,පෙමාතුර හැඟුම්, දේදුන්නෙන් එන සමනලුනේ, කොහෝ කෙහෝ,එක යායට මල් පීදුණු, සීත රෑ යාමේ, මා හද අසපුව, ලස්සන නම් නෑ පෙනෙන්නේ, සඳ බලන්න බෑ, මේ ප්‍රථම වසන්තයයි, සිත දන් දුන්නේ, මාලතී මල් මාවතේ,දඟකාර ඔය දැස, හිච්චි නගේ,කවුරුදෝ අර කවුළුවෙන්, දයාබර ගීතා, දූ අනුරාධා, මගේ රටට දළදා හිමි සරණයි, යසෝදරා, ‘නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, දහසක් පැතුමන්,බෝ මලුවේ මල් සුවඳක පැටලී,නිදිකුම්බා මල් කැකුළි, රත්ති අරන් උදැනැක්කේ ආදී සනත් නන්දසිරි ගැයූ ගීත අතිශය ජනප්‍රිය ගීත බවට පත් වූයේය.

    එදා මෙදාතුර ගුවන්විදුලිය, සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍යය ආදී කවර ක්‍ෂේත්‍රයක වුව ඉමහත් ආන්දෝලනයට ලක් වූ ගීත දහස් ගණනින් ගැයූ මහාචාර්ය සනත් නන්දසිරි මහතා ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය රාශියකට ම ප්‍රශස්ත සංගීත නිර්මාණ සැපයු බව මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර දිවයින පුවත්පතට ලියූ ලිපියක සඳහන්.

    පහතින් දැක්වෙන්නේ ඔහු ගැයූ විශාල ගණනක ගීතවලින් කිහිපයක් පමණි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.