fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ඡන්දෙට යන වියදම බලලා හරියට කියන්න' - ජනපතිගෙන් නියෝගයක්

    ‘ඡන්දෙට යන වියදම බලලා හරියට කියන්න’ – ජනපතිගෙන් නියෝගයක්

    අපේක්ෂිත පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් මාර්තුවේදී නොලැබුණහොත් රටේ අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් සංචිතයක් තබාගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් ඉදිරි මැතිවරණය සඳහා යන වියදම පිළිබද නිවැරදි අයවැයක් ලබාදෙන ලෙස තමා මුදල් අමාත්‍යාංශයට කියූ බව ද ජනාධිපතිවරයා කියාසිටී.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙසේ පළකර තිබුණි.

    “අපි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, අපගේ වියදම් ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතුයි. අයවැය හදන්නේ මුළු වසර සඳහාමයි. එබැවින් අපට තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකියි. අප සාකච්ඡා කරන IMF අරමුදල් අපේක්ෂිත පරිදි මාර්තු මාසයේදී නොලැබුණහොත් අපට සංචිතයක් තබා ගත යුතුයි.

    මැතිවරණ පිරිවැය පිළිබඳව අපට තවම පැහැදිලි නෑ. මැතිවරණ කොමිසම එය රුපියල් බිලියන 10 ලෙස ඇස්තමේන්තු කළ නමුත් ඉල්ලුවේ බිලියන 6යි. පොලිසිය ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටියා. අපට දැන් තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් ඒවා අධ්‍යයනය කර නිවැරදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස මම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා.

    අවශ්‍ය සියලුම මුදල් අප සතුව නොමැති නිසා මුදල් ලබාදිය යුත්තේ ප්‍රමුඛතාවලටයි. මිලියන 2.8 ක පවුල්වලට සහල් බෙදා හැරීමට, විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් සහ බංකොලොත්භාවයට මුහුණ දී සිටින කුඩා ව්‍යාපාර සඳහා සහනවලට අපි බිලියන 20 ක් වෙන් කර තිබෙනවා. මෙම ගෙවීම් ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට පුළුවන් මට ඒ බව දැනුම් දෙන්න.

    ආර්ථිකය විනාශ කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව තේරීම් කාරක සභා පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියන එකට මම එකඟයි. විපක්ෂය මෙය සහතික කළ යුතුව තිබුණත් ඔවුන් එහෙම කළේ නැහැ. මාර්තු තුන්වන සතිය වන විට මෙය පත්කිරීමට පියවර ගන්නා ලෙස මම අගමැතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා.

    ආර්ථිකය මගේ ප්‍රමුඛතාවයයි. ආර්ථිකය දියුණු නොවුණොත් අපිට රටක් නැහැ. අප අවධානය යොමු කළ යුතු එක් ප්‍රශ්නයක් තියෙනවා. රට නැතිකරගෙන ව්‍යවස්ථාව තියාගන්න පුළුවන්ද? ව්‍යවස්ථාව ආරක්‍ෂා කළ හැක්කේ රට ආරක්‍ෂා කළහොත් පමණයි.” යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.