බම්බලපිටිය පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ඉන්දීය වීසා සෙන්ටර් ආයතනයට පසුගිය 15 වෙනිදා අලුයම කඩාවැදී එහි තිබුණු දේපොල රැසක් සොරාගත් කල්ලිය කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද (21) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් අතර පස් දෙනෙක් සිටින අතර ඒ එක් අයෙක් කාන්තාවකි.
හපුගොඩගේ බන්දුමතී නැමැති එම කාන්තාව ඉන්දියානු වීසා සෙන්ටර් ආයතනය පිරිසිදු කිරීමේ සේවා සපයන පුද්ගලික ආයතනයක සේවිකාවකි. ඇය මෙම ඉන්දියානු වීසා සෙන්ටර් හී සේවවයට යොදවා සිටින තැනැත්තියක් බව පොලීසිය කියයි.
සෙසු සැකකරුවන් අතර වැල්ලවත්ත ස්වර්ණ පාරේ පදිංචිකරුවෙක් වන ලියනආරච්චිලාගේ උපුල් (53), වැල්ලවත්ත ධර්මාරාම පාරේ පදිංචිකරුවෙක් වන ඉලංගෝ ගාමිණි පද්මකුමාර (53), කොළඹ 05 හැවලොක් පරේ පදිංචිකරුවෙක් වන උඩුගල්මොටේ ලියනගේ වික්‍රමසිරි (55) සහ කොළඹ 07 කිරුලපන පදිංචි වර්ෂනම් අරුල් (49) යන සිව් දෙනා සිටින බව පොලීසිය කියයි.
මොවුන් සිව් දෙනා ඉන්දියානු වීසා සෙන්ටර් ආයනය පිහිටි ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත්තේ එහි ගේට්ටුවෙන් පැන බවත් එම අවස්ථාවේදී ආරක්ෂකයින් පවා එහි සිට නැති බවත් හෙළිවී ඇත. තට්ටු ගොඩනැගිල්ලක තෙමහල් මහලේ ඇති වීසා සෙන්ටර් හී කාර්යාලයකට කඩා වැදී ඇති ඔවුන් මෙදින වීසා සම්බන්ධ දත්ත ඇතුලත් ලැප්ටොප් පරිගණකයක් සහ ආරක්ෂක කැමරා පද්ධතියේ ඩී.වී.ආර්. යන්ත්‍රයක් අයිෆෑඩ් එකක්, කුඩා කැමරාවත් ඇතුළු උපකරණ කිහිපයක් සොරාගෙන ගොස් තිබුණි.
මේ හේතුව නිසාම 15 වෙනිදා සිට දින 03ක් ඉන්දීය වීසා සෙන්ටර් ආයනය වසා දමා ඉන්දීයානු වීසා නිකුත් කිරීමද ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය තාවකාලිකව නතරකරනු ලැබීය. ඉන්දායානු මහා කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනු ලැබුවේ ආරක්ෂක හේතුවක් මත මෙසේ ඉන්දීය වීසා නිකුත් කිරීම අත්හිටවූ බවය.
මෙම සොරකම සිදුකර ඇත්තේ වීසා සෙන්ටර් හී සේවය කළ පිරිසිදු කිරීමේ කාන්තාව විසින් ලබාදුන් තොරතුරු ඔස්සේ බව අත්අඩංගුවටගත් සැකකරුවන් පවසා ඇත. මෙම සොරකම සිදුකරනු ලැබුවේ කුමන අරමුණක් මුල්කරගෙනදැයි මෙතෙක් පැහැදිලි නැති බැවින් පොලීසිය ඒ ගැන පුළුල් විමර්ශනයක් මේ වන විට සිදුකරමින් පවතී.