fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇතැම් නිලධාරීන්ගේ වැඩ නිසා පැය ගණනක විදුලි කැපිල්ලක් අතළඟ!

    ඇතැම් නිලධාරීන්ගේ වැඩ නිසා පැය ගණනක විදුලි කැපිල්ලක් අතළඟ!

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ගේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් රටට mw 1200ක විදුලි ධාරිතාවක් අහිමි වීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ එකමුතුව චෝදනා කරයි.

    පුනර්ජනනීය බල ශක්තියෙන් ජනනය කරන එම විදුලි ධාරිතාවය ජාතික පද්ධතියට අහිමි වුවහොත් ඉදිරියේ දී පැය ගණනාවක විදුලි කප්පාදුවක් ඇතිවීම වළකාලිය නොහැකි බවද පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවෝ පවසති.

    කුඩා පරිමාණ ජල ව්‍යාපෘති, සූර්ය, සුළං සහ ජීව ශක්ති යන ප්‍රභවයන්ගෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 1200ක ධාරිතාවක් ලැබෙන අතර එය ඉතා ලාභදායී පරිසර හිතකාමී වන නමුත් බලධාරීන් ඊට කිසිම ප්‍රමුඛතාවයක් ලබා නොදෙන බවද ඔවුහු කීහ.

    පුනර්ජනනීය බල විදුලි ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට තම සංගමයේ නිලධාරීන් පිරිසක් විදුලිබල අමාත්‍යංශයට ගිය අවස්ථාවේදී ලේකම්වරයා පැවසුවේ විනාඩි පහක සාකච්ඡාවක් ලබා දිය හැකි බවද ඔවුහු කීහ.

    පුනර්ජනනීය බලශක්තිය 70% ක මට්ටමකින් භාවිතයට ගැනීම රජයේ ප්‍රතිපත්තිය බවට අඬබෙර ගසන නමුත් වගකිවයුතු නිලධාරීන් කටයුතු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට බවද ඔවුහු චෝදනා කළහ.

    පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ එකමුතුව නියෝජනය කරමින් ප්‍රභාත් වික්‍රමසිංහ, වර්ණ දහනායක, පත්මනාත පෝද්දිවල, ලසිත් විමලසේන යන මහත්වරුන් පිරිසක් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.