fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටේ ආර්ථිකය හොඳඅතට - තැන්පතු හා ණය පොලී ඉදිරියේදී පහළට

    රටේ ආර්ථිකය හොඳඅතට – තැන්පතු හා ණය පොලී ඉදිරියේදී පහළට

    2023 වසරේ දෙවන භාගයේ සිට මෙරට ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    ඉන් ඉදිරියට ආර්ථිකයේ වර්ධන වේගය ද අඛණ්ඩව පවත්වාගනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද මහබැංකුව ‘2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති’ වාර්තාව නිකුත් කරමින් පෙන්වා දෙයි.

    එම වාර්තාවට අනුව මෙරට උද්ධමනය අඛණ්ඩව පහළ යෑම අඛණ්ඩව සිදුවෙමින්, මතුපිට උද්ධමනය 2023 වසරේ පළමු භාගයේදී පහළ ගොස් මේ වසර අවසානය වන විට අපේක්ෂිත මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    උද්ධමනය ඉදිරි කාලය තුළ ඉහළ යාමේ යම් අවදානමක් මතු වුවහොත් එය සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළින් පාලනය කරනු ඇත.

    අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ප්‍රවණතාව තුළ උද්ධමන අපේක්ෂා මනා ලෙස පාලනය වී පවතී.

    මුදල් ප්‍රතිපත්තිය සහ පොලී අනුපාතික පිළිබඳ කරුණු දක්වමින් මහබැංකුව සඳහන් කරන්නේ වර්තමානයේදී දක්නට ලැබෙන ඉහළ වෙළඳපොළ පොලී අනුපාතික ඉදිරි කාලය තුළදී අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    කෙටි කාලීන උද්ධමන ඉදිරි දැක්ම මගින් පෙන්වාදෙනු ලබන පරිදි වෙළඳපොළ පොලී අනුපාතික ඉදිරියේදී පහළ යා හැකිය.

    එනමුත් උද්ධමන පීඩන සැලකිය යුතු ලෙස පාලනය වන තෙක් මුදල් තත්ත්වයන් අවශ්‍ය පරිදි දැඩිව පවතී.

    මූල්‍ය ආයතන අතර තැන්පතු රැස් කිරීම සඳහා පැවති දැඩි තරගකාරීත්වය හේතුවෙන් ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල ගැළපීම් අභිබවා වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගොස් ඇත.

    එවැනි අහිතකර තරගකාරීත්වයන් වළක්වා ගන්නා ලෙස මහ බැංකුව දැනටමත් බැංකු සහ බැංකු නොවන ආයතනවලින් ඉල්ලා ඇත.

    මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාවයෙහි සිදුවන වැඩිදියුණු වීමත් සමග ඉදිරි කාලයේදී වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යුහයේ (තැන්පතු සහ ණය පොලී අනුපාතික) පහළයෑමක් අපේක්ෂා කෙරේ.

    එහෙත් එවැනි පහළ යෑමක් සිදුවීම සඳහා අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගත වන්නේ නම් මහ බැංකුව සුදුසු පරිදි නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලනු ඇති බව ද මහබැංකුව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.