fbpx
තවත්
    මුල් පිටුවspecialවැල්ලේත් රැල්ලේත් බයේ හැංගෙන වැලි කක්කුට්ටෝ

    වැල්ලේත් රැල්ලේත් බයේ හැංගෙන වැලි කක්කුට්ටෝ

    වැලි කක්කුට්ටන් (Ghost Crabs) හෙවත් කැහි කක්කුට්ටන් මුහුදු වෙරලේ ගමන් කරන විට හමුවන කුඩා සතුන් කොට්ඨාශයකි. ලා දුඹුරු – කහ හෝ කහ වර්ණ දරන මොවුන් වේගයෙන් දිවගොස් ගුල් තුලට වැදී හෝ රළ අතරේ හෝ සැඟවී යාම දැකිය හැකි වේ. මේ කක්කුට්ටන් වෙරලේ වැලි හාරා ගැඹුරු ගුලක් තනන අතර ඉතා සුලු අන්තරායක් හෝ සෙලවීමක් දැනුනු විට හෙවත් අනාරක්ෂිතබවක් දැනුනු විට ඊට ඉතා වේගයෙන් ප්‍රතිචාර කිරීමක් ලෙස මෙලෙසින් දිවගොස් සැඟවීම සිරිත වේ.

    ඉතා ඉක්මනින් බියපත් වන​, කලබල වන සහ එවන් අනාරක්ෂිත තත්වයක් හැඟුනු වහාම වේගවත් ප්‍රතිචාර දක්වන වැලි කක්කුට්ටන් මෙන් සමාජයේ සිටින විශාල කොටසක් අනාරක්ෂිතබවින් පෙලෙන්නන් බව පෙනී යයි. අනාරක්ෂිත හැඟීම් නිසා තමන් ආරක්ශාවීමට පලායන වැලි කක්කුට්ටන් මෙන් නොව සමාජය තුල සිටින අනාරක්ෂිත මානසිකත්වයෙන් පෙලෙන්නන් නිසා සේවා ස්ථානවල​, අධ්‍යාපනික ආයතන තුල​, මිතුරන් අතරතුර සහ සමාජයේ විවිධ මට්ටම් වල ගැටලු සහ හානිකර තත්වයන් රාශියකට හේතුවන බව පෙනේ.

    තමාට වඩා දක්ෂ​, රූමත්, ආකර්ෂණීය සහ ජනප්‍රිය චරිත මෙන්ම වෙනස් දක්ෂතාවයන් සහ හැකියාවන් සහිත අය කෙරේ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය ඇති වන්නේ මෙවන් අනාරක්ෂිත හැඟීම් තුළිනි. එයට හේතුව නම්, එවන් සාර්ථකත්වයන් ඉදිරියේ තමන් කොන්වී හෝ පසෙකට තල්ලුවී යනු ඇතැයි ඇතිවන අනාරක්ෂිතබව බියක් ලෙස සහ පසුව ඊර්ෂ්‍යාවක් සහ ක්‍රෝධයක් බවටත්, ඉන් පසුව බොහෝ අවස්ථාවලදී එවන් සාර්ථක අයව විනාශකර හෝ ඔවුන් කරන කටයුතු කඩාකප්පල් කිරීමටත් පෙලඹීම සිදු වේ.

    පසු කලෙකදී තමන්ට ප්‍රමාණවත් මුදල් නොමැති වෙතැයි සිතා ඇතිකර ගන්නා අනාරක්ෂිත හැඟීම් නිසා බොහෝදෙනා නීති විරෝධී කටයුතුවලට පෙලඹේ. අල්ලස් ගැනීම්, වංචනික ක්‍රියා සහ දූශිත ක්‍රියා සඳහා හේතුවන කෑදරකම් අනඅරක්ශිත හැඟීම්වල තවත් ආකාරයකි.

    තමන්ට ලද බලය අයුතු ලෙස භාවිතා කරන​, දූෂිත ලෙස ධනය රැස් කරන, බලය රැකගැනීම සඳහා ඕනෑම පහත් ක්‍රියාවක් කරන​, අන් මත නොරුස්සන සහ ප්‍රතිවාදීන් සහ විවේචකයන් මර්ධනයේ යෙදෙන සහ බලය අත හැර දැමීමට නොහැකිව කෙසේ හෝ බලයේ එල්ලී සිටින​ සෑම නායකයෙකු සහ පාලකයෙකුම මෙහෙයවන්නේ අනාරක්ෂිතභාවය තුලින් ඇතිවන බිය නිසා බව පෙනේ.

    වැලි කක්කුට්ටන් ප්‍රතිචාර දක්වන්නේ තමන්ට එල්ලවන තර්ජනවලට පමනක් නොව අනාරක්ෂිත බවක් ඇතිවන ඕනෑම සිද්ධියකටත් එකම ආකාරයට වේ. ඒ අතින් ඔවුන් ඇතැම් පුද්ගලයන්ට සමානය​.

    තමන්ට එන අනාරක්ෂිත හැඟීම්වලට වැලි කක්කුට්ටන් දක්වන ප්‍රතිචාරය කිසිවෙකුටත් හානිකර නොවන්නකි. එනමුත්, බොහෝ පුද්ගලයන් අනාරක්ෂිත හැඟීම්වලට දක්වන ප්‍රතිචාරයන් තමන් අවට සිටින අයට පමනක් නොව සමාජයටම පවා හානිකර සහ විනාශකාරී වන අවස්ථා තිබේ.

    ඒ අනුව බලන කල ඔවුන් සිටින්නේ වැලි කක්කුට්ටාටත් වඩා ඉතා නොදියුණු මට්ටමක බව පෙනී යන්නකි.

    ආචාර්ය ජගත් ගුණවර්ධන

    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය ජගත් ගුණවර්ධන
    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.