fbpx
තවත්
    මුල් පිටුවspecialඅහසින් යන හරක්

    අහසින් යන හරක්

    ඡායාරූප – ශෂී සුබ්‍රමනියම්

    හෙලිකොප්ටරයක් ආධාරයෙන් මිනිසුන් හා බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීම ස්විස් වැසියන්ට අලුත් අත්දැකීමක් නොවේ. ඇතැම් අවස්ථාවල දී කැලෑ වල කපන ගස් ප්‍රවාහනය සඳහා ද හෙලිකොප්ටර් භාවිතා කරන අතර ඇල්ප් කඳු වැටියේ ආසන්නයේම ජීවත්වන අපට එය සූලභ දසුනකි.

    ගවයෙකු හෙලිකොප්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කරන දර්ශනයක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට එසේ වන්නේ ඇල්ප් කඳුවැටියක වෙසෙන ගවයෙකු හදිසියේ රෝගාතුර වීම වැනි අවස්ථාවක දී පමණි .එහෙත් ගවයින් තිස් දෙදෙනෙකු (32)හෙලිකොප්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කළ දූලබ අවස්ථාවක් පිළිබඳ සටහනකි මේ.

    හෙලිකොප්ටරය ගමන් වාර තිස් දෙකක් තුළ ගවයින් ප්‍රවාහනය සිදු කිරීම සුවිශේෂීම සිද්ධියයි.

    ගිම්හාන සෘතුවේ කිරි ගොවීන්ට සුවිශේෂීය. ඇල්ප් කඳු කඳු පාමුල ජීවත් වන ඔවුන් මේ සෘතුවේ දී ඇල්ප් ල් කදු මත ජීවත්වීම සඳහා ගවයින් සමග ගමන් කරන කාලය වන බැවිනි.

    කිරි ගොවීන් මාස හතරකට ආසන්න කාලයක් එහි ජීවත් වෙමින් කිරි ආශ්‍රිත නිෂ්පාදන වල නිරත වෙති . ඉහළ ඇල්ප් කඳු වැටිය වෙත ඔවුන් ගවයින් සමඟ ගමන් කිරීම ජුනි මස මුල් සතියේ සිට සිදු කෙරේ.

    ඇල්ප් ඉහළ කඳු වැටි වෙත ගමන් කරන මාර්ග ඇතැම් අවස්ථා වල දුෂ්කර හා අවදානම් සහගතය .ඒ පිළිසකර කිරීම පළාත් ආණ්ඩුවල වගකීමකි .,එහෙත් ග්ලාරුස් අව්රන් ඇල්ප් වෙත ගමන් කරන මාර්ගය තවමත් පිළිසකර කර නොමැති බැවින් ගවයින් ට ගමන් කිරීමට සිදු වූයේ හෙලිකොප්ටර් වල ආධාරයෙන්ය.

    මෙලෙස ගවයින් තිස් දෙදෙනෙකු මීටර් දහසක පමණ උසකින් යුත් ඇල්ප් කඳු වැටිය වෙත ප්‍රවාහනය කෙරිණි .

    මේ ආකාරයට ප්‍රවාහනය කෙරුණු එක් කිරි එළදෙනෙකුගේ බර කිලෝ ග්‍රෑම් හත්සියක් පමණ වෙයි.

    මෙලෙස කිරි ගවයින් ප්‍රවාහනය කිරීම පහසු කාර්යයක් වුවත් ඒ සඳහා විශාල මිලක් දැරීමට සිදුවේ. සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් ගාස්තු ලෙස අය කරන්නේ ඔවුන් ගමන් කරන මිනිත්තුවකටය. එක් මිනිත්තුවකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් අට දාහක් පමණ අය කෙරේ.

    මෙලෙස ගවයින් තිස් දෙදෙනෙකු ප්‍රවාහනය කිරීම සඳහා පැය දෙකකට ආසන්න කාලයක් ගත වූ අතර රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් මෙම කාර්යය සඳහා වැය කිරීමට සිදු විය .

    ඇල්ප් අහසේ පැය දෙකකට ආසන්න කාලයක් පියාසර කළ මෙම කිරි ගවයින් ග්ලාරුස් වැසියන්ට දක්නට ලැබුණු ප්‍රිය දායක දසුනක් වුවා නොවනු මානය.

    ඉබ්බෙකු පියාසර කළ හැටි කුඩා අවදියේ දී කතන්දර වලින් අසා ඇති අපට අද ගවයින් තිස් දෙදෙනෙකු ඇල්ප් අහසේ පියාසර කෙරෙනු හැටි දැක ගැනීමට ලැබීම ආශ්වාද ජනක අත්දැකීමකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.