fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"සිවුර දැම්මා කියලා ධර්මයට විරුද්ධව වැඩකරන්න විශේෂ ආරක්ෂාවක් ගන්න බෑ"

    “සිවුර දැම්මා කියලා ධර්මයට විරුද්ධව වැඩකරන්න විශේෂ ආරක්ෂාවක් ගන්න බෑ”

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එක් භික්ෂූන් වහන්සේ නමක් මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන්ට දොෂාරෝපණය කරනු තමා දුටු බවත් “කවුද මේ අය, භික්ෂූන් වහන්සේලාද, වෛතුල්‍යවාදීන්ද කියලා අපිට අහන්න වෙනවා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විමසීය.

    “සිවුරු දැම්මා කියලා ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න එයින් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ. ඒ නිසා මේ පනත අවශ්‍යයි. ඇතැම්විට මේ හැසිරීම තුළින් පැවිදි සමාජය තුළ තිබෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතු කෙරෙනවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළයුතුයි.” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    අපගේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරනවිට ප්‍රශ්න ගණනාවක් ඇති වන අතර එය බුදුන්වහන්සේගේ සමයේ සිටම සිදුවන දෙයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ දේවදත්ත හිමි බුදුන්වහන්සේට එරෙහිව ක්‍රියා කළේ ද සිවුර දරාගනිමින් සිටියදී බව ය.

    පරාභව සූත්‍රයේ සඳහන් වන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවන බවත් විපක්ෂනායකවරයා ධර්මය සහ සංඝරත්නය මිශ්‍ර කරගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සිහිපත් කළේය.

    සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලය ලබාදෙන කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට පළමුවතාවට අනුමැතිය ලබා දුන්නේ ඒ වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අද ආගමික කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට අදාළ විෂයය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේ පළමුවෙන්ම මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමා පරාභව සූත්‍රය ගැන මට කළ දැනුම්දීම පිළිබඳව.

    ඇත්ත වශයෙන්ම මම දන්න විදියට පරාභව සූත්‍රයේ මහා සංඝරත්නය ගැන කතා කරන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ,

    සුවිජානෝ භවං හෝති
    සුවිජානෝ පරාභවෝ
    ධම්ම කාමෝ භවං හෝති
    ධම්ම දෙස්සී පරාභවෝ

    (දියුණුවන පුද්ගලයා එම කරුණු අනුව දැනගත හැකිය. පිරිහෙන පුද්ගලයාද එසේම දැනගත හැකිය. දස කුසලයේ යෙදෙන තැනැත්තා දියුණුවන අතර ඊට ද්වේශ කරන කෙනා පිරිහෙයි) යනුවෙනි.

    බුදු දහමේ සඳහන් වෙනවා බුද්ධ, ධම්ම, සංඝ පිළිබඳව. පරාභ‍ව සූත්‍රයේ සඳහන් වෙන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවෙයි. මම හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා ධර්මයයි, සංඝරත්නයයි දෙක මිශ්‍ර කරලා තිබෙන්නේ. අපි එය වෙන්කරගත යුතුයි. මොකද ගිහි පැවදි සියලුදෙනා ධර්මය පිළිපැදිය යුතුය. ඇතැම්විට ගිහි අයට ධර්මය පිළිපදින්නේ නැතිව ඉන්න පුළුවන්. එහෙත් අපි ජිවත්විය යුත්තේ ධර්මයට අනුවයි. මම තව කරුණක් එතුමාට මතක් කරන්න කැමතියි.

    අසන්තස්ස පියා හොන්ති
    සන්තේ න කු‍රුතේ පියං
    අසතං ධම්මං රෝචේති
    තං පරාභවතෝ මුඛං

    (මොහුට අන්‍ය ශ්‍රාස්තෘන් ප්‍රිය වෙත්ද, බුද්ධාදි සත්පුරුෂයන් ප්‍රිය නොවෙත්ද, දෙසැටක මිත්‍යාදෘෂ්ටීන් ඇති අසත්පුරුෂ ධර්මය ප්‍රිය කරන්නේ ද මේ කරුණු 03 පිරිහීමේ දෙවන දොරටුවයි.)

    මම එම අවවාදය අපේ විපක්ෂනායකතුමාට දෙන්න කැමතියි. ඇත්ත වශයෙන්ම අපේ ශාසනයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි පළමුව බලාපොරොත්තු වෙන්නේ ගිහි පැවිදි සියලුදෙනා ධර්මය අනුව ක්‍රියා කරනු ඇති බවයි.

    අපේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරනවිට ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. ඒක බුදුන්වහන්සේගේ සමයේ සිටම සිදුවන දෙයක්. දේවදත්ත සිවුරු දරාගෙන තමයි බුදුන්වහන්සේට එරෙහිව ක්‍රියා කළේ.

    අපේ ශාසනික කටයුතුවලදී අවධානය යොමුකළයුතු ප්‍රශ්න ගණනාවක් අද තිබෙනවා. ඒකයි අපි පළමුවතාවට සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලතල ලබාදීමේ කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට අනුමැතිය ලබාදී තිබෙන්නේ. මේ සඳහා නීති සම්පාදක දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබීමෙන් පසු අපි එය මේ සභාවට ඉදිරිපත් කරනවා. මොකද යම් කිසි පාලනයක් තිබිය යුතුයි. අතීතයේ මේ රට පාලනය කළේ රජවරු. ඒ රජවරු මගින් තමයි ශාසනයේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වුණේ.

    පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඇතැම් සංඝයාවහන්සේලාට මරණ දඬුවම නියම කළා. අපිට ඒවා කරන්න බැහැ. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් අපට බලයකුත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය යටතේ භික්ෂූන් වහන්සේ‍ලාගේ විනය පිළිබඳ සඳහන් වෙනවා. සියම් නිකාය, අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය නමින් අපිට කතිකාවත් 03ක් තිබෙනවා. ශාසනික කටයුතුවලදී අවධානය යොමු කළ යුතු ප්‍රශ්න ගණනාවක් අද අපට තිබෙන නිසා මෙම කෙටුම්පත අවශ්‍ය වෙනවා.

    මම දැක්කා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එක් භික්ෂූන් වහන්සේ නමක් අපේ මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන්ට බනිනවා, දොෂාරෝපණය කරනවා. කවුද මේ අය, භික්ෂූන් වහන්සේලාද, වෛතුල්‍යවාදීන්ද කියලා අපිට අහන්න වෙනවා.

    සිවුරු දැරුවා කියලා ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න එයින් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ. ඒ නිසා මේ පනත අවශ්‍යයි. ඇතැම්විට මේ හැසිරීම තුළින් පැවිදි සමාජය තුළ තිබෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතු කෙරෙනවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළයුතුයි.

    අද භික්ෂුන් වහන්සේලා ලෙස විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුලත්වුණත් අවසන් වෙනකොට ඉන්නේ ගිහියන් විදියට. අපි පළමුවෙන්ම තීරණය කළයුතුයි භික්ෂුන් වහන්සේ‍ලා විදියට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණොත්, භික්ෂුන් වහන්සේ ලෙසම උපාධිය ලබාගෙන ඉන් පිටවිය යුතු බව. ඒ ගැන මහානායක ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා කළ යුතුයි.

    ඒවගේම විශ්වවිද්‍යාල තුළ හැසිරීම මේ කතිකාවන්ට සම්බන්ධ කළයුතුයි. මේ යන ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට පැවතුනොත් අපේ ශාසනය නැති වෙනවා. ඒකයි මම විශේෂයෙන්ම අද මේ ගැන කතා කළේ.

    ඉන්දියාව හා සසඳන විට ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ සුවිශේෂී ස්වභාවය අප ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද රජය සොයා බැලිය යුතුයි. හින්දු භක්තිකයන් පමණක් නොවෙයි බෞද්ධ විහාරස්ථානවලත් විවිධ හින්දු දෙවිවරුන් කී දෙනෙක් අදහනවාද? නිදසුනක් වශයෙන්, ශිව වන්දනාව යාපනයේ බහුලව දක්නට ලැබෙනවා.

    විෂ්ණු වන්දනාව හෙවත් විෂ්ණු දෙවියන් මූලික වශයෙන් දකුණු පළාතේ අදහනු ලබනවා. විෂ්ණු, කතරගම, පත්තිනි, විභීෂණ දෙවියන්ට අපි නමස්කාර කරනවා.

    ඉන්දියාවේ හින්දු නමස්කාරයට වඩා ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ සුවිශේෂීභාවය පිළිබඳ වාර්තාවක් සම්පාදනය කරන ලෙස මම අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා, සමහර විට අනෙක් පාර්ශ්වයන්ට ද මෙයට උදව් කළ හැකිය. එහිදී නැවතත් ඔබට උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව අතර වෙනසක් දක්නට ලැබෙනවා. එය අප විසින් කළයුතු දෙයක්.
    ඒ වගේම අපි තීරණය කරලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනයක් ඇති කරන්න. අද ඉතිහාසය අමතක වෙලා තිබෙන්නෙ. විශේෂයෙන්ම මේ ආයතනය ඇති කරන්න යන්නේ අපේ රටේ ඉතිහාසය පිළිබඳ දැනුම ලබා දෙන්න. ඒ වගේම පර්යේෂණ ඇති කරන්න. මහා වංශයට වඩා අද ඉතිහාසය වෙනස් වෙලා තිබෙනවා.
    මහාවංසයේ තිබෙන්නේ එක කණ්ඩායමක අදහස්. නමුත් තවත් අදහස් තිබෙනවා. අපි මේ ගැන සොයා බලා ලංකාවේ ඉතිහාසය පිළිබඳව මේ ආයතනය ඇති කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම මම සෞඛ්‍ය ඇමතිතුමාට ප්‍රශංසා කරන්න ඕනේ ඌව වෙල්ලස්ස, සබරගමුව, සහ පොලොන්නරුවේ අපට අවශ්‍ය වෛද්‍ය පීඨ 03ක් ආරම්භ කරන්න කටයුතු කිරීම පිළිබඳව. එමගිනුත් පශ්චාත් පරීක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පිරිනමන්න අපි සූදානම්. එවැනි උපාධි පිරිනමන එක් ආයතනයක් කොළඹ තිබෙනවා.

    මේ වන විට අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කරමින් සිටිනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනය දියුණු කරන්න අපි මුදල් ලබා දෙනවා. කොළඹ අපේ තිබෙන වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉන්දියාවේ පූනේ ප්‍රදේශය ඇති වෛද්‍ය පර්යේෂණ ආයතනය මට්ටමට ගෙන ආ යුතුයි. ඉදිරි වසර දෙක තුනවන විට අපට එම මට්ටමට ළගා විය හැකියි.

    වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය දියුණුව අපි ලබා දී තිබෙනවා. මේ වන විට එක වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලක්ෂ හැටක් රජය වියදම් කරනවා. මේ ඔක්කොම වියදම් කරන්නෙ ඔවුන් අපේ රටේ රඳව ගන්න. නමුත් උපාධිය ලබා ගත්තට පස්සේ බොහෝ දෙනා පිටරට යනවා. මේක විශාල ප්‍රශ්නයක්.

    මෙහිදී අපි ගතයුතු පියවර කුමක්ද කියලා සාකච්ඡා කළයුතුයි. මොන ආණ්ඩුව ආවත් මේ ප්‍රශ්නය තිබෙනවා. එහෙම බැලුවම අපේ වෛද්‍යවරු පුහුණු කරලා අපේ රටින් අනිත් රටවල්වලට ලබාදෙන ආධාර, විදේශ රටවලින් අපේ රටට සෞඛ්‍ය සඳහා දෙන ආධාර වලට වඩා වැඩි බවයි පේන්න තිබෙන්නේ. පිටරට යන අපේ වෛද්‍යවරු සුදුසුකම් සහ අත්දැකීම සහිත අය. මේ පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුන්ට අපි මොකක්ද කරන්නේ කියලා සාකච්ඡා කළ යුතුයි. මේ සඳහා පිළිතුරක් අපි සෙවිය යුතුයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.